මාදුරාගම පොල්අතු ඉස්කෝලෙට කොළඹින් නෑගම් ගිය ද

2015-10-29 08:44:00       661
feature-top

මුළු පාසලටම එක ගොඩනැඟිල්ලයි

දරුවන්ට බොන්න වතුර අදින්නේ අම්මලා

හවස 4 න් පසු වල් අලි නිසා පාරේ ගමන් බෑ


පාළු නගරය දෙපස ඇති විදුලි පහන් කණුවලින් මහමඟට වැටෙන මළානික එළිය අතරින් හිරු එළිය මහ පොළවට වැටෙයි. හිමිදිරි පාන්දර පාර මැද සීතලට ගුලි වී නිදා සිටින දුබල බල්ලෝ එකිනෙකා නැගිට අලස ගමනින් පාරේ අයිනට වී යළිත් ගුලි වී නින්දට වැටෙයි. මගීන්ගෙන් තොර පාරේ ඒ මේ අත ඉඳහිට වේගයෙන් ඇදී යන වාහනවල රතු එළිය තාර පාරට අමුතු ආලෝකයක් එක්කරයි. කෙමෙන් නැ‍ඟෙන හිරු එළියෙන් හාත්පස පරිසරය ආලෝකවත් වෙමින් තිබුණ ද වීථි ලාම්පු තවම නිදිකිරයි.

කොළඹ සිට නිකවැරටිය දක්වා ගමන් කිරීමට හිමිදිරියේ පිටත් වූ අප රැගත් බස්රථය නිකවැරටිය පසුකරමින් මහව මාර්ගය ආසන්නයට පැමිණ ඇත. මෙතෙක් වේගයෙන් ඇදී ආ බස්රථයේ වේගය අඩු විය. වෙල් යාය මැදින් වැටි ඇති මඟ අබලන්ය. වළ ගොඩැලි එමටය. මහව මාර්ගයේ කිලෝමීටර දහයක් ගමන් කරන තැන හමුවන හුලෝගෙදර පසුකරමින් ඉදිරියට යන විට හමුවන පටු මාවත වැටී තිබුණේ මාදුරාගමටය.

පාර දෙපසින් ඇස පෙනෙන මානයේ ඇත්තේ ලඳු කැලෑය, පුරන් කුඹුරුය. බොහෝ කාලයකින් වැසි වැටී නැති මහ පොළොව කර්කෂකය. මැළවුණු ගහකොළ අතුරින් අව් රැල්ල බිමට වැටී තිබිණි. මාදුරාගම කුමර ප්‍රාථමික විද්‍යාලය හමුවීමට පෙර අප දුටු කුඩා වැවක් සිඳී ගොස්ය. වියළි කොළරොඩු හා දඬුපත් වැටී හැඩි වී ඇති එම වැවේ පොළොව ඉරි තැලී ගොස්ය. ඒ කුඩා ගෙපැල් කිහිපය හැරුණු කොට පාසලට යන අතරමඟ ගෙයක් දොරක් දකින්නේ තැනින් තැනය. හැම අත විහිද ඇත්තේ ළඳු කැලෑවය.

මාදුරාගම කුමර ප්‍රාථමික විද්‍යාලයට යන ගමන දුෂ්කරය. අතරමඟ හමුවන අලිමංකඩ නිසා සවස හතරෙන් පසු කිසිවෙක් ඒ ම‍ඟෙහි නොයති. නිතර ගම්වදින අලි නිසා මඟ යන එන්නන් මුණ ගැසෙනුයේ අඩුවෙනි. මාදුරාගම කනිටු විදුහලට අප යන විට උදෑසන නවය පසුවී තිබිණි. පාසලේ මිදුල පුරා සිටුවා ඇති පුංචි මල් පැළවල මල් පිපී හිනැහෙයි. අප එන පෙරමඟ බලමින් දැල් කවුළු අතරින් බලා සිටින දරුවෝ සතුට පිරී ඉතිරී ගිය මුවින් හිනැහෙති. සමහරෙක් දිග බංකු මත වාඩිලාගෙන සිටිති. ඔවුන් අප එන පෙරමඟ බොහෝ වේලා බලා සිටි බව නිසැකය. ඒකාකාරී කටුක ජීවිතයෙන් මිදී එක් දිනක් හෝ සතුටින් ගෙවීමට පුන පුනා බලා සිටින දරුවෝ මහත් හරසරයෙන් අපි පිළිගත්හ.

ඒ පාසලේ දරුවන්ට සම්පත් ඇත්තේම නැති තරම්ය. එහෙත් අවට පරිසරයෙන් සොයා ගත් දේ අපට පුද කරමින් ඔව්හු මහත් හරසරින් අප පිළිගත්හ. අප පෙරමඟට පැමිණ අප පිළිගත් පාසල් තූර්ය වාදක මණ්ඩලයේ ඇතැම් සංගීත භාණ්ඩ දඬු කෝටු හා උණබටවලින් තනාගෙන තිබිණ. තාලයට පාද තබා නටමින් වයමින් ගයමින් ඒ දරු කැළ අප පිළිගත් අයුරු අප නෙතට කඳුළු පිරවීමට සමත් විය.

කොළඹ සිට ගිය අප කණ්ඩායම දුටු ඒ සැමගේ මුවඟ සතුටු සිනාය. පිළිගැනීමේ කතාව කරමින් පාසලේ කුඩා දැරියක ප්‍රකාශ කළේ ඔවුන්ගේ ජීවිතයේ අසිරිමත්ම දිනය එදින බවය.

කොළඹ 07, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප්‍රජා සත්කාර සේවය සඳහා මෙවර තෝරාගෙන තිබුණේ නිකවැරටිය මාදුරාගම කුමර ප්‍රාථමික විද්‍යාලයයි. 2013 වසරේදී නැවත විවෘත කරන ලද කුමර ප්‍රාථමිකය කලක් වල් බිහිවී වනයට යට වී තිබූ පාසලකි. 2013 වසරේ මහින්දෝදය වැඩ සටහන යටතේ මේ විද්‍යාලය නැවත ගොඩ ගැනීමට ගැමියෝ මහත් පරිශ්‍රමයක් දැරූහ. ඒ අනුව පාසලට ඇති එකම ගොඩනැඟිල්ලේ දරුවන් 26 දෙනකුගෙන් යුතුව පාසල නැවත ආරම්භ කෙරිණි. අවුරුදු 10 කට පමණ පෙර වැසී ගිය මේ පාසල එකල හැඳින්වූයේ මාදුරාගම කනිෂ්ඨ විද්‍යාලය ලෙසිනි. 2002 වසරේදී පාසල වැසී යද්දී එහි සීයකට අධික සිසු පිරිසක් අකුරු කළහ.

දස වසරක් තිස්සේ වල් බිහිවී වැසී තිබූ හෙයින් තම දරුවන්ට අකුරු කිරීමට පාසලක් නොමැතිව ගම්මුන් සිටියේ ළතැවිල්ලෙනි. එයට පිළියමක් ලෙස ගම්මු කීප දෙනෙක් එක්වී සිය දරුවන් වෙනුවෙන් ගමේ පාසල යළි ගොඩනැඟීමට උත්සුක වූහ. එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් 2013 වසරේ දී පාසල යළි විවෘත වූ බව කුමර ප්‍රාථමිකයේ විදුහල්පති ඩී. එම්. ඒ. පී. දිසානායක මහතා අප හා පැවැසීය.

මේ පාසලේ දැනට ගුරුවරු දෙදෙනකු සේවය කරන අතර දරුවෝ 50කට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබති. මේ පාසලේ දරුවෝ ද ඉංග්‍රීසි ඉගෙනීමට දැඩි මනාපයක් දක්වති. එහෙත්, පාසලේ ඉංග්‍රීසි ඉගැන්වීමට රජයේ ගුරුවරයකු නොමැත. ඒ අඩුපාඩුව යම්තම් හෝ සපුරා ගැනීමට දෙමවුපියෝ එකතුව සිය මුදලින් පෞද්ගලික ඉංග්‍රීසි ගුරුවරයකු දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා ‍යොදවා ඇත්තාහ.

පාසලේ පන්ති ඇත්තේ 3 වසර දක්වා පමණි. මුළු පාසලටම ඇත්තේ ගම්මුන්ගේ ශ්‍රමයෙන් හා ධෛර්යයෙන් ගොඩ නංවා ගත් එක් ගොඩනැඟිල්ලක් පමණි. එහි ද පැත්තක් සෙවිලි කර ඇත්තේ පොල් අතුය. රජයේ අරමුදලින් පාසල සඳහා මේ වන විට තවත් ගොඩනැඟිල්ලක් ඉදිවෙමින් පවතී. එය තවමත් අත්තිවාරම මත අඩක් ගොඩනැඟුණු බිත්තිවලට සීමා වී ඇත.

ඉගෙනීමේ හපන්කමත් උනන්දුවත් තිබුණ ද ඒ සඳහා වන භෞතික සම්පත් කිසිවක් ඔවුන්ට නැත. පාසලට පුස්තකාලයක් හෝ ක්‍රීඩාංගණයක් නොමැත. බීමට වතුර සපයා දෙනුයේ පාසලේ දරුවන්ගේ මවුපියන්ය. උදෙන්ම පාසලට වතුර අදින දෙමවුපියෝ ඒවා බැරල් දෙකකට පුරවා තබති. දරුවන්ගේ පිපාසය සංසි‍ඳෙන්නේ ඒ වතුර පොදෙනි. පාසල් බිමේ ළිඳක් ඇතත් එහි ජලය කිවුල් රසැති බව දරුවෝ අප හා පැවැසූහ.

ක්‍රීඩා උපකරණ තබා අතින් ඇල්ලීමට බෝලයක්වත් නොමැති කුමර ප්‍රාථමිකයේ දරුවන්ට කොළඹ සිරිමාවෝ ආදි සිසුවියන් වෙතින් ලද තෑගි බෝග අතර වූ සෙල්ලම් බඩු මහමෙරක් මෙන් විය. පරිගණකයක් ඇහැටවත් දැක නැති මේ දරුවන් කොළඹින් ගිය අමුත්තන් වෙතින් ලද අලුත්ම පරිගණකය අතපත ගෑවේ ඉමහත් ආශාවෙනි. පාසල් දරුවන් තෑගි ලෙස ලද පොත්බෑග නැවුම් සුවඳ වහනය වන පොත්වලින් පුරවාගෙන පිටේ එල්ලාගෙන එකිනෙකා දෙස සතුටු පිරි වතින් බලා සිටිද්දී කොළඹින් ගිය අමුත්තන්ගේ ද දෑස් සතුටු කඳුළින් තෙමී ගියේය.

කොළඹින් ගිය අමුත්තෝ පාසල් දරුවන් සඳහා රැගෙන ගිය පොත්පත් හා පාසල් උපකරණ ප්‍රවේශම් කර තැබීමට එම පාසලේ අඩු තරමින් රාක්කයක් හෝ නොතිබිණ. ඒ අවශ්‍යතාව පිරිමසාලමින් කොළඹින් රැගෙන ගිය පොත් රාක්ක හා පොත් අල්මාරිවල එවේලේම පිළිවෙළකට අසුරා තැබීමට මේ දරුවන් උත්සුක වූ අයුරු අපූරුය.

කොළඹින් ගිය කණ්ඩායම පිළිගැනීමට පාසල් දරුවන්ගේ දෙමවුපියෝ ද පැමිණ සිටියහ. සහජ දක්ෂතාවලින් පිරි ඉගෙනීමට හපන්කම් පාන සිසු සිසුවියන් සිටින මේ පාසලේ දරුවන්ගේ ඉගෙනීමට අත දිය හැකි මෙවන් තවත් පරිත්‍යාගශීලීන් තවත් වේනම් එය පාසලේ අභිවෘද්ධියට මහත් පිටිවහලක් බව ඔව්හු අප හා පැවැසූහ.

2017 වසරේ ශිෂ්‍යත්වය සඳහා මේ දරුවන් යොමුකර ඔවුන් නගරයේ පාසලකට යැවීමට අවශ්‍ය වටපිටාව සකසමින් සංවර්ධිත පාසලක තත්ත්වයට මේ පාසල වැඩිදියුණු කිරීම අපේ උත්සාහයයි යනුවෙන් ඊ. එම්. ඩබ්ලිව්. ඒකනායක ගුරු මහත්මිය පැවසුවාය.

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිනිය මාලනී හේරත් මහත්මිය ද ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකාවන් සමඟ මේ ගමනට එක්ව සිටියාය. පාසලේ දරුදැරියන් වෙනුවෙන් අවැසි සියලුම පාසල් උපකරණ මෙන්ම කෘෂිකාර්මික උපකරණ ද ඒ ගමනේදී රැගෙන ගොස් තිබිණ.

නිකවැරටිය කොට්ඨාසයේ පාසල් දරුවන් අතර පැවැත්වූ හොඳම අත්අකුරු තරගයෙන් පළමු තැන හිමි කරගැනීමට මේ පාසලේ දැරියන් සමත් වී ඇත. සහජ දක්ෂතාවලින් පිරිපුන් මේ දරුවන්ගේ අනාගතය ආලෝකවත් කිරීමට පාසලේ විදුහල්පතිතුමා සහ එකම ගුරුතුමිය දරන වෙහෙස අපමණය. නටන්න, ගයන්න, වයන්න, උපන් හපන්කම් ඇති මේ දරුවන්ගේ වේදිකාව පාසලේ මිදුලේ ඇති අතුඉති දරා ඇති මහා රූස්ස ගස් සෙවණයි.

පොල් අතු සෙවිළි කළ පාසලේ ගෙපිලේ වෛද්‍යවරියන් දසදෙනකුගෙන් යුත් වෛද්‍ය සායනයක් ද පැවැත්වීමට සිරිමාවෝ ආදි ශිෂ්‍ය වෛද්‍යවරියෝ කටයුතු කළහ. නොමිලේ ඖෂධ ලබාදීමත් දරුවන්ගේ හා ගම්මුන්ගේ පෝෂණ තත්ත්වයන් පරීක්ෂා කිරීමටත් දවස පුරා සිදු විය.

මාදුරාගමට ආසන්නම ගම්මණ්ඩිය හුලෝගෙදර ය. ළඟම නගරය නිකවැරටියය. නිකවැරටියේ සිට මාදුරාගමට දුර කිලෝමීටර් 40කට වැඩිය. ගමට ඒමට හුලෝගෙදර සිට දිවෙන බස්රථයක් වෙයි. පත්තරයක් මිලදී ගැනීමට පවා ගම්මුන්ට නිකවැරටියට ම යා යුතුය.

එදාවේල සරිකර ගනිමින් ගොවිතැන් බතක් කරගෙන දිවි ගෙවන මාදුරාගම ගැමියන් කෙතෙක් අගහිඟකම් තිබුණ ද ආගන්තුක සත්කාරය හා ගුණධර්ම අතින් පොහොසත්ය.

මාදුරාගම කුමර විද්‍යාලයේ සිසුන්ට හා ගම්මුන්ට මෙන් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවන්ට ද මේ දිනය කිසිදා අමතක නොවන දිනයක් බව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිනිය මාලනී හේරත් මහත්මිය එහිදී පැවැසුවාය. ශිෂ්‍යත්ව විභාගය හොඳින් සමත් වී කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට පැමිණෙන ලෙස ද විදුහල්පතිනිය ඒ පාසල් දැරියන්ගෙන් ඉල්ලීමක් කළාය. ගුණධර්මවලින් පිරි දරු දැරියන් ලෙස අනාගතයේ සමාජයේ ඉහළ තැනකට යා යුතු බවත් එය විදුහල්පතිනියක ලෙස ඇය දරුවන් වෙතින් අපේක්ෂා කරන එකම දෙය බවත් ඇය සඳහන් කළාය.

බිම් කරුවල වැටීගෙන එද්දී අපට ඔවුන්ට සමු දී ආපසු ඒමේ කාලය එළඹිණි. වෙල් යාය මැදින් වැටී ඇති අබලන් පාර දෙපසට වී පුංචි පැටවු අප බස්රියට ගොඩවන අන්දම බලා සිටියේ කඳුළුපිරි දෙනෙතිනි. කඳුළුපිරි නෙත් අතරින් මතු වූ ඒ පුංචි සිනාරැලි සදා අප මතකයේ පවතිනු ඇත.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »