සංක්‍රමණික පක්ෂීන්ගේ අවසන් නවාතැන බූන්දල සුන්දරත්වය අපට අහිමි වේවි ද?

2015-10-12 10:11:00       593
feature-top

* මුළු බූන්දලටම සර්ප විශේෂ 4යි. ඒ හතරම උග්‍ර විෂ සහිතයි

* ලවණ කලපුවට මිරිදිය එක්වී විනාශ මුඛයේ

* අලංකාර සියක්කාරයින් රටට ඒම සීමාවෙලා

අනුන් ගේ යහපතට ක්‍රියා කරන තැනැත්තා, තමන් ගේ යහපත ද සහතික කර ගනියි.
- කොන්පියුසිස්

උතුරු අර්ධ ගෝලය හිමෙන් වැසී යන ශීත සමය ආසන්න වෙමින් තිබේ. එකල්හි ඒ බිම් මතින් නැගී සිටින තුරු සිරස් පාළුවට යන්නේ ඒවායේ කොළ හැලී යන නිසා පමණක් නොවේ. මෙතෙක් ඒ අතු අතර ලගිමින් ද පියා සලමින් ද සිටි පක්ෂීන් ද ඒවා අත්හැර ඉවත යන හෙයිනි. ඔවුහු ඉවැසිය නො හැකි ඒ කටුක ශීතලය අත් හැර වඩාත් සුව පහසුකම් ඇති උණුසුම් දේශගුණික කලාපවලට ඉගිළ යෑම ආරම්භ කරති. සංක්‍රමණික පක්ෂීන් යනුවෙන් අප හඳුන්වන්නේ එසේ උණුසුම සොයා පැමිණෙන ඒ සොඳුරු ආගන්තුකයන්ව යි.

එ‍සේ උත්තරාර්ධ ගෝලයේ සිට පැමිණෙන මේ සංක්‍රමණික හෙවත් සංචාරක පක්ෂීන් ගේ අවසාන නැවතුම් පළ ඇත්තේ අප රටේ ය යන්න දන්නවුන් හිඟ ය. හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත්, මාගම්පත්තුවේ පිහිටි බූන්දල තෙත් බිම අර කී අවසන් නැවතුම්පළ වේ.

අදින් වසර 43කට පෙර 1972 පෙබරවාරි දෙවැනි දින ඉරානයේ - රැම්සා නුවර පාරිසරික සමුළුවක් පැවැත්විණි. ඊට එකතු වූ පරිසර විෂයයික ව හැදෑරීමක් ඇති බුද්ධිමතුන් ශීඝ්‍ර ජනාවාසකරණය, නාගරීකරණය, කාර්මීකකරණය හමුවේ ලෝකය පුරා ඇති තෙත් බිම්වලට සිදුවන හානි ගැන සිය අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් රැම්සා ප්‍රඥප්තිය ආරම්භ විය. කෙසේ වෙතත් 1972 දී ආරම්භ වූ එය ක්‍රියාත්මක වන්නේ 1995 දී ය. ශ්‍රී ලංකාව රැම්සා ප්‍රඥප්තියට අත්සන් තබන්නේ එය ක්‍රියාත්මක වීමටත් කලින්ය. එනම් 1987 දී ය.

බූන්දල තෙත් බිම ජාත්‍යන්තර අවධානයට පත් වන්නේ එය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්වී වසර විස්සක් ගත වීමෙන් පසුව ය. වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව 1969 දෙසැම්බර් පස් වැනි දින හෙක්. 6216 ක් සහිතව බූන්දල වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. ඉරානයේ රැම්සා නුවර දී සම්මත වුණු රැම්සා ප්‍රඥප්තියෙන් ආරක්ෂිත පළමු තෙත් බිම වන්නේ ද බූන්දල යි.

ලංකාවේ ගිනිකොන දිග ප්‍රදේශවල දී අර්ධ ශුෂ්ක පරිසර කලාපයක් අපට හමුවෙයි. බූන්දල අයත් වන්නේ ද ඒ කලාපයට ය. කෙසේ වෙතත් බූන්දල ජාතික වනෝද්‍යානයට පිවිසෙන්නෙකු පරිසර පද්ධති ගණනාවක් සහිත වනෝද්‍යානයක අත්දැකීම ලබයි. උදාහරණයක් ලෙස ඇතැම් තැනෙකදී ලවණ වගුරු බිම් ද කඩොලාන බිම් මෙන් ම වැලිකඳු හමුවන කල ගංගාශ්‍රිත වනාන්තර මෙන් ම තෘණ බිම් ද තවත් කලාපයක දී දැකිය හැකි වේ. ඒත් සමඟ ම කටු පඳුරු සහිත ලඳු කැලෑ බිම් ද හමු වෙයි. ඒ සියල්ල පසු කර අභය භූමියේ වෙරළ තීරයට යන විට, වෙරළාසන්න ශාක තීර මෙන් ම වැලි කඳුවලින් සැදි පරිසර කලාපයකට පිවිසීමේ අවස්ථාව ලැබේ.

බූන්දල තෙත් බිම කලපු පරිසර පද්ධති කිහිපයකින් වත් පොහොසත් ය. කොහාලංකල කලපුව (හෙක්. 390) ඉන් එකකි. ඒ හැරුණු කල මලල කලපුව (හෙක්. 650), ඇඹිලිකල කලපුව (හෙක්. 430) බූන්දල කලපුව (හෙක්. 520) ද බූන්දල තෙත් බිමට අයත්වේ. කරදිය ජල පරිසරයක් හමුවේ පිහිටිය ද ඉහතින් කී කලපු පරිසර පද්ධති හේතු කොට‍ ගෙන පොහොසත් මිරිදිය ජල මූලාශ්‍රය කිහිපයකින් ද මේ තෙත් බිම වැඩි දියුණු වී තිබේ. වැලිගත්ත ප්‍රදේශයේ දී ඇඹිලිකල කලපුව සමඟ එක්වන මලල ඔය ඊට කදිම උදාහරණයකි. එම කලපුවට ම එකතු වන ඇඹිලිකල ඔයත්, වනෝද්‍යානයේ නැගෙනහිර මායිමෙන් ගලාගොස් ගල්කණුමණ්ඩියේ දී සාගරයට එකතු වෙන කිරිඳිඔයත් එකී මිරිදිය ජල පරිසරය නියෝජනය කරන සැලකිය යුතු උදාහරණ ලෙසින් පෙන්වා දිය හැකිය.

බූන්දල සංචාරයේ දී හමුවන ශාක විවිධත්වය ද අපූරු විචිත්‍රත්වයක් ගෙන දෙන්නකි. කටු පඳුරු සහිත ලඳූ කැලෑ බිම් වල දී නිතර හමුවන පලූ, අන්දර, කටුපිල, කරාව අතර මලිත්තන් සහ රණවරා ද වේ. මහ දෙඹර යනු ද එම කලාපයේ දී හමුවන තවත් විශේෂයකි. නමුත් වැලි කඳු සහිත බිම්වලදී මහාරාවණා රැවුළ, විෂ්ණු ක්‍රාන්ති ගුප්ත සාඩම්බරයකින් යුතු ව අප හමු‍වේ නැගී සිටි යි. මූදු ගැට කොළ මෙන් ම මූදු බිම් නැඹුරු ද ඒ අතර වැඩී ඇති ආකාරය ඔබට දැකගත හැකි ය.

කෙසේ වෙතත් බූන්දල ප්‍රසිද්ධියට පත් වුණේ කුරුල්ලන් බහුල ඔවුන්ගේ පාරාදීසයක් හැටියට ය. මත්තල ගුවන් ‍තොටුපළ ගුවන් යානා ක්‍රියාකාරීත්වයට බරපතළ බාධාවක් වී ඇත්තේ ද බූන්දල ට පැමිණෙන සංක්‍රමණික ඇතුළු එහි ම වෙසෙන බොහෝ පක්ෂි වර්ගයා යි. පරිසරවේදීන් හඳුනාගෙන ඇති ආකාරයට මෙහි පක්ෂි විශේෂ 201 ක් පමණ වාර්තා වී තිබේ. ඉනුත් 61 ක් ම සංක්‍රමණිකයෝ වෙති. නේවාසික ව එහි ම රැඳී සිටින විශේෂ සංඛ්‍යාත්මක ව 140 ක් පමණ වෙයි. තෙත් බිම්වල පමණක් දැකිය හැකි විශේෂ 96කි. ඉනුත් 47ක් ම මෙරටට පැමිණෙන සියොතුන් ය.

ගල්පර කොකා යැයි අප කීව ද මේ පක්ෂියා අපේ කෙනෙක් නොවේ. ආසියානු මහ වටුවා ද එසේ මය. ඉතා ම කලාතුරකින් අප රටේ දී හමුවන මේ විශේෂ සංක්‍රමණික පක්ෂීහු වෙති. එවැනි ම දුර්ලභ සංක්‍රමණික විශේෂ වන Hume's whitethroat ට අප කියන්නේ හියුමෙස් ගේ ගෙල සුද්දා කියා ය. Chinese pond Heron ව අප පිළිගෙන ඇත්තේ රතු කණ කොකා කියා ය. මේ අතර ගෙල රතු දිය වටුවා ද සිය රටේ ශීත කාලය ගෙවෙන තෙක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති බූන්දල වනොද්‍යානයට පැමිණෙන්නෙකි. ඒත් සමඟම හඳුනා ගන්නා දම් සිළුටු දෑ තුඩුවා, දිගු පෙළ ළිහිණි ඔලෙයියා, මහ සිලිවටුවා කලාතුරකින් අපට හමුවන විචිත්‍ර සංක්‍රමණික සියොත් හු වෙති.

මේ දුර්ලභ සංක්‍රමණිකයන් අතර ම කිසිදු ගැටුමකින් තොරව ඇවිද යන කහ මැටි කොකා සහ පලා කන කොකා අපේ අය යි. ඒ අතර හීන් ගෙබි කූඩුවා මෙන් ම හීන් දිය කාවා ද වෙති. බහු රූ මානාවා, විවර කූඩුවා, ලතු ටාකියා හංස කාවා ද වනෝද්‍යානයේ වෙසෙන නේවාසික පක්ෂීන් අතරට ගැනෙති.

ක්ෂිතිජ සීමාවේ දී හිරු නිවී යන අතරවාරයේ දී වෙරළට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සාගර දියවැල් අතරේ සැරිසරන කැස්බෑ විශේෂ කිහිපයක් ද බූන්දල තෙත් ජෛව විවිධත්වයේ නියෝජිතයන් ලෙසින් හඳුනා ගැනෙයි. විශේෂයෙන් ම ඉතා දුර්ලභ කැස්බෑ විශේෂ වන දාර කැස්බෑවා, ඔළුගෙඩි කැස්බෑවා, මඩ කැස්බෑවා, පොතු කැස්බෑවා, බටු කැස්බෑවා යන අය සියලු එළි නිවී ගිය තැන, වෙරළ ට පැමිණෙන්නේ බිජූ ලෑමේ කටයුත්ත වෙනුවෙනි. මොවුහු බූන්දල වෙරළී තීරයට බිජු ලෑමට පැමිණෙන කැස්බෑවෝය.

ජාතික වනෝද්‍යානයක් වුණත් මේ කලාපයේ ජීවත් වෙන්නේ සර්ප විශේෂ 4 ක් පමණි. එය පුදුමයක් යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් මේ විශේෂ 4 ම උග්‍ර විෂ ඇත්තෝ වෙති. ඉනුත් දුර්ලභ ම විශේෂ 2 ක් වන වැලි පොළඟා සහ වැලි පිඹුරා මෙහිදි අපට හමුවේ. අර්ධ ශුෂ්ක පරිසර කලාපයක් වන බූන්දල දී ඇතැම් විට දිරාපත් ලී කොටයක් මත ලැග සිටිනවා දැකිය හැකි වැලි කටුස්සා උරග විශේෂයකි.

හම්බන්තොට, මත්තල ප්‍රදේශය ප්‍රසිද්ධියට පත් වන්නේ අලි ඇතුන් බහුල ඔවුන් නේවාසික ව වෙසෙන වන භූමියක් හැටියට ය. එහෙත් බූන්දල අලි ඇතුන් ඉතා සුළු ප්‍රමාණයක් ජීවත් වන වනෝද්‍යානයක් බවට පත් ව ඇත. සංඛ්‍යාත්මකව ගත්තොත් ඔවුහු 10කට 15කට වැඩි නොවෙති. ඒත් සමහර කාලවලදී මේ ප්‍රදේශයට අලි ඇතුන් සංක්‍රමණය වන බව නම් කිව යුතු ය. කෙසේ වෙතත් බූන්දල ට අලි ඇතුන් අහිමි වුණේ ස්වාභාවික හේතු මත යැයි නො සිතිය යුතු ය. විශේෂයෙන් ම වලව වම් ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය ට ඉඩ ලබා ගනු වස් හම්බන්තොට විසූ අලි ඇතුන් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට එළවා දැමීමේ ව්‍යාපාරය හේතු කොට ගෙන ඉහත කී අයුරින් බූන්දල අලි ඇත් ගහනයට අදාළව පාළුවට ගොස් තිබේ. කෙසේ වෙතත් විශාල සත්වයින් නොවුණත් අළු මුගටියා සහ අඳුන් දිවියා මේ වනෝද්‍යානයේ වෙසෙන සුවිශේෂ ක්ෂිරපායින් වශයෙන් හඳුනාගෙන තිබේ.

මානව ක්‍රියාකාරකම් බහුල වීම හේතු කොට ගෙන මේ වන විට ආක්‍රමණික ශාක අසීමිත ලෙසින් වැඩෙන්නට පටන් ගැනීම තුළ බූන්දල බරපතළ පාරිසරික තර්ජනයකට මුහුණ පා තිබේ. මෙය වනෝද්‍යානයේ පැවැත්මට ඇති බරපතළ ම තර්ජන අතරින් එකක් ය යන්න පරිසරවේදීන් ගේ පෙන්වා දීම යි. විශේෂයෙන් ම කලපු අන්දර, පතොක්, ගඳපාන, හම්බූපන් යන ප්‍රධාන පෙළේ ආක්‍රමණික ශාක රැම්සා තෙත් බිම ආක්‍රමණය කරමින් පවතී. විශේෂයෙන් ම ලවණ වගුරු බිම් සහිත කලපු පරිසරය මුළුමනින් ම වාගේ කලපු අන්දර ආක්‍රමණය ට ගොදුරු වී තිබේ. ඒ හැරුණු කල කටු පඳුරු සහිත ලඳු කැලෑ බිම් සහිත පරිසරය පතොක් ආක්‍රමණයේ ග්‍රහණයට අසු වී තිබේ.

ඒත් සමඟ ම මිරිදිය ජල මූලාශ්‍ර ඉතා කණගාටුදායක අයුරින් හම්බුපන් ශාකය විසින් ආක්‍රමණය කිරීම හේතු කොට ගෙන මෙහි වෙසෙන පක්ෂීන් ගේ ගොදුරු බිම් ද බරපතළ ආකාරයෙන් සීමා වන තත්වයක් නිර්මාණය වෙමින් තිබේ. දේශීය ශාක පැවැත් අවම වීම හැරුණු කල ලවණ වගුරු බිම් ඇසුරේ වෙසෙන ජෛව ප්‍රජාව වඳ වීමේ අවදානම ට මුහුණපාන පාරිසරික ව්‍යසනය අර කී ආක්‍රමණික ශාක ඔස්සේ බූන්දල ට ලැබෙමින් තිබේ. ඒත් සමඟම බොහෝ සත්ව ප්‍රජාවන් ට වනාන්තරයේ ගැවසීමට ඇති ඉඩකඩ නො වැළැක්විය ආකාරයෙන් සීමා වීම ද මේ නිසා සිදුවෙමින් තිබේ. මේ තත්වය සත්ව ප්‍රජාව ගේ ගැවසුම් ප්‍රදේශ සීමා වීම වශයෙන් පරිසරවේදී හු හඳුන්වති.

ලවණ කලපු වලට මිරිදිය ජලය ගලා ඒම ද අවධානයට ලක් විය යුතු, යට කී වනෝද්‍යානය මුහුණ පා ඇති පාරිසරික ගැටලුවකි. උදාහරණයක් වශයෙන් ඇඹිලිකලපුව අද එකී ඉරණම ට මුහුණ පා ඇත. මේ නිසා කලපුවේ ලවණතාව පහළ බැසීම අත්හිටුවිය නො හැකි තැනක ට පත් ව තිබේ. ඒ බව දැන ගත හැකි ජෛවමය සංඥාවක් වී තිබෙන්නේ ඒ ප්‍රදේශයට පැමිණෙමින් සිටි අලංකාර සංක්‍රමණික පක්ෂි විශේෂයක් වූ සියක්කාරයන් සිය පැමිණීම සීමා කරමින් සිටීම යි.

ඉහතින් කී ආකාරයට ලවණතාව පහළ බැසීම නිසා එම පරිසර පද්ධතිය ට අදාළ සියලු ම ජෛව සහ ශාක විශේෂ වද වී යෑම ද නියතයකි. සියක්කාරයන් මේ ප්‍රදේශයට පැමිණෙන්නේ එම ලවණ කලපුවල වැඩෙන සත්ව ප්ලවාංග ආහාරයට ගැනීමට ය. එහෙත් අද දවසේ ඒ ආහාරය එකී කලපුවේ හිඟ වෙමින් තිබේ. සියක්කාරයන් ඇඹිලිකල කලපුව අත හරිමින් සිටින්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව ඇඹිලිකල කලපුව තවදුරටත් උන්ට ගොදුරු බිමක් නොවේ.

ජාතික වනෝද්‍යානයක් වශයෙන් බූන්දල තෙත් බිම අන් සියලු එවැනි බිම් අබිබවා මානව ක්‍රියාකාරකම් මෙන් ම සංවර්ධන ව්‍යාපෘතිවල ආක්‍රමණයට ගොදුරු වෙමින් තිබේ. එහෙත් මේ විශිෂ්ට රැම්සා තෙත් බිම තවදුරටත් මෙසේ නො සලකා නො හැරිය යුතු ය. මතක තබාගත යුතු විශේෂ තත්වයක් ද බූන්දල ට හිමි ය. ඒ ජෛව විවිධත්ව ය සහ පැහැදිලිව දැකිය හැකි පරිසර විවිධත්වයක් ද එයට හිමි බව යි. එනිසා මෙවැනි සුවිශේෂ පරිසර වටිනාකම් කිසිදු විශේෂත්වයකින් තොර ව විනාශයට යාම ට ඉඩ හැර බලා සිටීම නොකළ යුත්තක් වේ.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »