ජනාවාසකරණයෙන් දඩයම් වසම අහිමිව අහර සොයා ගම් වදින කොටි පරපුර

2015-10-05 09:34:00       585
feature-top

වෙරළබඩ පහත් බිම්වල සිට ඍතු විපර්යාස හමුවේ හිමෙන් වැසී යන කඳු මුදුන් දක්වා සිය වාසභූමි කරගත් ලොව වෙසෙන අපූර්වත ම ක්ෂීරපායි සත්වයෙකු වේ නම් ඒ කොටියා ය. ඉන්දියාවේ වෙසෙන දිවියා ද ඊට අයත් ය. ලංකාවේ වෙසෙන්නේ ද දිවියා යැයි ඇතැමුන් කීව ද ඔවුන් වර්ගීකරණය කෙරෙන්නේ Panthera Pardus kotiya යන නමිනි. එසේ හෙයින් අප රටේ වෙසෙන විශේෂය ද කොටියා නමින් හැඳින්වීමට පරිසරවේදීහු එකඟ වෙති. අනිත් අතට අප රටේ වෙසෙන විශේෂය ඉන්දියාවේ පමණක් නොව අනිකුත් සැම උප විශේෂයකින් ම වෙනස් වීම ද සැලකිය යුතු කරුණක් වේ.

පරිසරවේදී රුක්ෂන් ජයවර්ධන පෙන්වා දෙන අන්දමට අප රටේ වෙසෙන්නේ ගෝලීය වශයෙන් ද සලකන කළ ඉතා වැදගත් උප විශේෂයකි. ඒ අනුව ජාන පැවැත්මට අදාළව ද ඔවුන් සතු වෙසෙස් අනන්‍යතාවක් වේ. දිවාචර හැසිරීමක් (දිවා කාලයේ සැරි සරන) ඇත. ඒ නිසා අනෙකුත් උප විශේෂයන් ට සාපේක්ෂව පහසුවෙන් දැකගත හැකි ය. දූපත් රාජ්‍යයක් වශයෙන් ගත් කල අප රටේ ස්වාභාවික ආහාර දාමයේ අවසන් පුරුක සෑදෙන්නේ කොටියාගෙනි. එහි තේරුම ඔවුන් ට ඒ වෙනුවෙන් තරගයක් දීමට වෙනත් එකෙකු නැති බවයි. නමුත් ලොව අනික් රටවල් ගත් විට ප්‍රමාණයෙන් විශාලවූත් ශක්තිමත් වූත් කොටින් මෙන් ම, කොටින් නො ඉවසන ව්‍යාඝ්‍රයින් හා සිංහයින් ඔවුන් හා තරගයට එළැඹෙමින් සිටින බව දැකිය හැකි ය. ඒ අනුව ලංකාවේ වෙසෙන කොටින් ගේ හැසිරීම හා පෞරුෂත්වයට වනාන්තරයේ දී ඔවුන් ට ලැබී ඇති කිසිවෙකුට දෙවැනි නොවන තත්වය හේතු වී තිබේ යැයි රුක්ෂන් ජයවර්ධන පවසයි.

ලෝකයේ වෙසෙන ක්ෂිරපායින් අතරින් වඩාත් හොඳින් අනුවර්තනීය හැකියාවක් ඇති සත්වයකු වේ නම් ඒ ද කොටියා විය හැකි යැයි පැවැසේ. උදාහරණයක් ලෙස ඇමූර් නම් දැවැන්ත කොටි විශේෂය ජීවත් වන්නේ තද හිම වැස්මක් සහිත කටුක ශීත කලාපයක් වන රුසියාවට අයත් සයිබීරියාවේ ය. ඒ හැරුණු කළ නාම්බි හා කලහාරි යන අප්‍රිකානු කලාපීය කාන්තාරවලද කොටි ජීවත් වෙති.

ලංකාවේ වෙසෙන බොහොමයක් කොටින් ගේ ශරීර වර්ණය දීප්තිමත් බවත්, රන්වන් පැහැයට හැරුණු කහ පැහැය සහිත ලෝම වැස්මෙන් යුක්ත බවත් නිරීක්ෂණය කොට තිබේ. වැඩුණු පිරිමි සත්වයෙකු ගැහැනු සතෙකු ට වඩා සියයට 30 - 50 ත් අතර ප්‍රමාණයකින් විශාල බව ද හඳුනාගෙන තිබේ. පැටවුන් ද දඟකාර සහ සිත් ගන්නා සුලු බවක් පෙන්වා දී තිබේ.

මෙරට පරිසර පද්ධතිය තුළ කොටියා ගේ පැවැත්මේ වැදගත්කම ගැන ද විශේෂත්වයකින් යුතුව සලකා බලා තිබේ. ඒ අනුව ගත් කල දේශීය වනාන්තරවලදී හමුවන ඉදිරියෙන් ම සිටින විලෝපියා කොටියාය. ප්‍රමාණය ඉක්මවා ශාක වැස්ම (තෘණ ද ඇතුළුව) උලා කෑමෙන් පරිසර පද්ධතිය බිඳ වැටීම වළක්වා ඇත්තේ මේ කියන අංක එකේ විලෝපියා ය. එසේ බලන කළ පරිසරය නම් ආරුක්කු පැවැත්මේ ඉවත් කළ නොහැකි මුල්ගල වශයෙන් කොටියා ස්ථානගත වී සිටියි.

කෙසේ වෙතත් කොටියා විලෝපියෙකු වශයෙන් අවස්ථාවාදියෙක් යැයි ද පරිසරවේදි රුක්ෂාන් පවසයි. ඊට හේතුව ඌ සිය ආහාරය ශාක භක්ෂකයන්ට පමණක් සීමා නො කිරීමයි. කොටියා ගේ ගොදුරු ලොව පුළුල් පරාසයක් පුරා පැතිර තිබේ. වෙන එකක් තියා ඇතැම් අවස්ථාවලදී මළකුණු ද අනුභව කරයි.

අදටත් කොටින් හොඳින් දැකගත හැකි වනෝද්‍යාන වශයෙන් යාල, විල්පත්තු සහ යාල නැගෙනහිර යන කලාප හඳුන්වා දෙයි. වනාන්තරය තුළ සිය බලය තහවුරු කර ගනිමින් (Territory) ජීවත් වන සත්ව කොට්ඨාසයක් ලෙසින් ද මොවුන්ව හඳුනා ගැනෙයි.

කොටි ධේනුවක ගේ ගැබ් සමය සති 15 කි. එය එතරම් දිගු කාලයක් නොවේ. මාංස භක්ෂක, දඩයමින් යැපෙන මොවුන් ට දිගු කාලයක් ඒ කටයුතු වලින් බැහැරව සිටි‍ය නොහැකි නිසා යට කී කෙටි කාලය නිර්මාණය වී ඇති බව පැහැදිලි ය. බොහෝ විට වරකට බිහි කරන පැටවුන් ගණන එකෙකු හෝ දෙදෙනෙකි. කලාතුරකින් අවස්ථාවක පැටවුන් තිදෙනෙකු හෝ සිවු දෙනෙකු සමඟ මවු ‍සතෙකු දැකිය හැකි වේ. පරිසරවේදි දිමුත් රන්වැල්ලට පැටවුන් තිදෙනෙකු සමඟ මවු සතෙකු හමු වී තිබේ. කොටි පැටවුන් දඩයම් පුහුණුව ලබන්නේ මව ගෙන් යැයි ද ඔහු පවසයි.

කොහොම වුණත් කොටියාට සිය දඩයම කර ගැනීමට සිදු ව ඇත්තේ දාහක් බාධක මධ්‍යයේ ය. කොටියා අනතුරක් ය යන්න සෑම ‍සතෙකු ම වාගේ පිළිගැනීම ඊට ‍හේතුව යි. එනිසා කොටියෙකු ගේ පැමිණීම වනාන්තරයට ම හඬ ගා පැවසීමට කිසිම සතෙක් අමතක නොකරයි. ඉනුත් මූලික වන්නේ තුරු මුදුන් හි වෙසෙන රිළවුන් සහ වඳුරන් ය. මෙසේ දහසක් අවහිර මැද කරගන්නා දඩයම ද බොහෝ විට වෙනත් සතුන් භුක්ති විඳින බවත් ඉනුත් කොටියෙකුගේ ගේ ගොදුරු ඩැහැ ගන්නා අන්‍ය සතෙකු වශයෙන් කිඹුලා කැපී පෙනෙන බවත් දිමුත් රන්වැල්ල පවසයි.

කොටි මව සහ ගැහැනු පැටවා අතර පවත්නා අපූර්ව සම්බන්ධය ගැන දිමුත් රන්වැල්ල ගේ නිරීක්ෂණය සිත් කා වදින්නකි. ඒ අනුව තම කාලය අවසන් වන විට මවු සත්වයා සිය දියණියට තම වසමේ සියලු දෑ පෙන්වා දෙයි. ඒ සම්බන්ධයෙන් දැනුවත් කරයි. මෙලෙස යාල වනෝද්‍යානයේ දි එක් කොටි ධේනුවක් සිය ගැහැනු පැටවාට තමා සැරි සැරූ බිමේ සියලු ම දෑ පෙන්වමින් ප්‍රායෝගික පාඩමක් ලබා දෙන අයුරු නිරීක්ෂණය කිරීමේ අවස්ථාව රුක්ෂාන් ජයවර්ධනට හිමි ව තිබේ. අවසානයේ දී මව ‍‍ගේ මරණයෙන් පසු මව ගේ වසම ගැහැනු පැටවා ට හිමි වේ.

පිරිමි සතුන් ද තමන් ට හිමි වසමක් පාලනය කරන බවත් එහි සීමා මායිම් ලකුණු කරන්නේ මූත්‍ර වලින් බවත් හඳුනාගෙන තිබේ. ඒ අනුව එක් එක් කොටියා ගේ මූත්‍ර වලින් වහනය වන ගන්ධය වෙනස් බව පැවසේ. ඒ ආකාරය ට නියම කරගත් වසමක ට පිටස්තරයෙකු හෝ පැමිණීම ප්‍රබල වරදකි. එය පිටස්තරයාට අදාළව මරණයෙන් මෙහා අවසන් නොවන සටනක් කැඳවා ගැනීම කි.

දිමුත් රන්වැල්ල ට අනුව අපේ රට තුළ පිරිමි කොටියෙකු අඩි 6 ත් 7 ත් අතර වර්ධනයක් අත් කර ගනියි. 1929 වර්ෂයේ දී Fellowes Gordon නම් අයෙකු විසින් දකුණු පළ‍ාතේ දී අඩි 7 කුත් අඟල් 10 ක් දිග කොටියෙක් මරා දමා තිබ්. ඌ මෙතෙක් මෙරටින් හමු වූ විශාලතම කොටියා ලෙසින් ද සැලකේ.

වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත පෙන්වා දෙන අන්දමට නම් කොටියකු ළඟ තබා ගැනීම, විකිණීම, විකිණීමට ප්‍රදර්ශනය කිරීම, තුවාල කිරීම හෝ මරා දැමීම සපුරා තහනම් කටයුත්තකි. එවැනි වරදක් සිදු කොට අසු වන පුද්ගලයෙකු රු. 20,000 සිට 50,000 දක්වා පැවරෙන දඩයකට හෝ වසර 2 සිට 5 දක්වා සිර දඬුවමකට හෝ මේ දඬුවම් දෙකට ම හෝ යටත් කිරීමට හැකි ය. එහෙත් එවැනි නීති අණපනත් තිබුණ ද මෙරට කොටින් ට මිනිසුන්ගෙන් එල්ල වී ඇති මරණීය තර්ජනයේ බරපතළකම නම් අඩු වී නැත.

කොටි බොහෝ විට අද මිය යන්නේ මදු වලට අසු වීමෙනි. ඒ අතර වෙඩි තබා මරණයට පත් කිරීම් මෙන් ම වස දීම් ද හිඟ නැත. මීට වසර එකොළහකට පමණ පෙර මන්දක ට අසු වී මියග ගිය කොටියෙකු ගැන අප ට පුත්තල ම ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. පැය කීපයක් තුළ ඒ සතා මන්ද තුළ ම සිර වී මිය ගොස් තිබිණි. ඒ ප්‍රදේශයෙන් ම පසුව තවත් එවැනි මරණ දෙකක් වාර්තා වීමෙන් අනතුරුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ඒ ආකාරයට මදු වලට අසු වී මිය යන කොටින් ගැන හිඟයකින් තොරව අසන්නට ලැබිණි. ඉනුත් කනගාටුදායක තත්වය වන්නේ කඳුකරයේ වෙසෙන ඇතැම් දුර්ලභ කොටින් ද මෙසේ මදු වලට අසු වී මිය යෑම ය. සාමාන්‍යයෙන් වියළි කලාපීයව වෙසෙන කොටි එසේ මිය යෑම ගැන නිතර වාර්තා වුණ ද කඳුකර සහ පහතරට නිවර්තන වැසි වනාන්තර වාසී කොටියන් එසේ මිය යන්නේ රහසින් වා‍ෙග් ය. එහි තේරුම් ඒ සතුන් ගේ මිය යෑම් බොහෝ විට වාර්තා නොවීම යි. ඒ ආකාරයට කඳුකරයේ වෙසෙන දුර්ලභ කොටි විශේෂ අප නො දැනම රටට අහිමි වන තත්වයක් නිර්මාණය වෙමින් තිබේ.

තම්බපණ්ණි පරිසර කතිකාවත පෙන්වා දෙන අන්දමට, මෙසේ මදු තබනුයේ ඌරන් ට බව යි බොහෝ දෙනාගේ අදහස. එහෙත් කොටියන් ඉලක්ක කරගෙන ම මෙසේ මදු අටවනවා ද යන සැකය ඒ නිසා ම බැහැර කරන්නට ද පුළුවන්කමක් නැත. බොහෝ විට ත්‍රීවීලර් රථවල ක්ලච් කේබලයෙන් මේ මදු සාද‍ාගෙන ඇත. මන්ද ට අසුවන සතා අඩපණ කිරීමට ඔවුන් යොදා ගන්නා උපක්‍රමය වන්නේ මන්ද ලිහිල් අයුරින් සවි කිරීම යි. එය නිවැරදි අයුරින් ම සත්වයාගේ ශරීරයට වැටීම එමඟින් අපේක්ෂා කෙරේ. බුරුලට ඇති මන්ද ට අසුවන සතා යම් දුරක් එයත් සමඟ ගමන් කිරීමෙන් මන්දේ ග්‍රහණය තවදුරටත් තහවුරු වෙයි. ඒ දැඟලීමත් සමඟ ම අසු වූ සතා දිගින් දිගට ම අඩපණ වීම සිදු වේ. එතැන ඇති උපාය උපක්‍රමය වන්නේ සතා ශක්තිමත් අවස්ථාවේ දී මන්ද ට හිර කිරීම නො ව දුර්වල කොට හිර කිරීම යි. එසේ දුර්වල වූ විට කොයි ආකාරයෙන්වත් ගැලවී යාමක් ගැන බලාපොරොත්තු තැබිය නො හැකිය.

ශීඝ්‍ර ජනාවාසකරණය තුළ පවත්නා අවිධිමත් බව අලි මිනිස් ගැටුමට මෙන් ම කොටින් මෙසේ අවාසනාවන්ත ලෙස ගොදුරු වීමට හේතු වී තිබේ. ඇතැම් අවස්ථාවල දී රජයේ අනුදැනුමකින් ද තොරව වනාන්තර මායිම් අත්පත් කර ගන්නා ගම්මාන වාසීන් අතින් මේ වටිනා සත්වයා මිය යන්නේ කිසිදු වටිනාකමක් නැති ආකාරයකිනි. කුඩා තේ වතු ව්‍යාප්තිය ද මීට අදාළව හේතුවක් වශයෙන් මේ වන විට හඳුනාගෙන ති‍ෙබ්.

දඩ මස් ජාවාරමේ ව්‍යාප්තියට ද එවැනි මායිම් ගම්මාන වලින් ලැබෙන්නේ මහත් අනුබලයකි. මේ නිසා ම වනාන්තර තුළ දැඩි ආහාර හිඟයකට මේ සතුන් මුහුණ පා තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගම්මාන සමීපයට පැමිණ හරක් පැටවුන්, එළුවන් ගොදුරු කර ගැනීමට අද වන විට මොවුහු හුරු වී සිටිති. එවැනි අවස්ථාවල දී සැඟවී තබන වෙඩි ප්‍රහාරයන් ට මෙන් ම, මරා ගත් ගොදුරට වස මිශ්‍ර කිරීම අද දවසේ ත් සිදු වේ. තෙත් කලාපයේ දී ගම් වදින කොටියන් බො‍හෝ විට තම ඉලක්කය කර ගන්නේ ගෘහවාසී සුනඛයන්වය. මදු වලට අසු වී මිය යන්නේ මේ කලාපයේ හැසිරෙන එකී සතුන් ය.

මෙහිදී සිහි තබාගත යුතු කරුණ වන්නේ කොටියා යැයි කියන්නේ වනාන්තරය තුළ තමන් වෙනුවෙන් දඩයම් වසමක් පවත්වාගෙන යන සත්වයෙකුට යන්න යි. ඒ තත්වය අද ඔවුන්ට අහිමි වෙමින් ඇත්තේ අවිධිමත් ජනාවාසකරණය හේතු කොට ගෙන වනාන්තර කැබලි වීම නිසා ය. ඒ අනුව කොටියා ගම් වැදීම ඇලි ඇතුන් ගම් වැදීම හා සමානව ම නිර්මාණය වී තිබේ. මේ දෙකරුණට ම හේතුව මානව ක්‍රියාකාරකම් ය. ඉතා පැහැදිලිවම නිවැරදි වන ජීවී සැලසුමක අවශ්‍යතාව පරිසරවේදීන් විසින් කාලයක සිට ම අවධාරණය කරන ලද්දේ මේ තත්ව කල් තියා දුටු හෙයිනි.

ඒ නිසා තවදුරටත් වන ජීවී සැලසුම් සහිතව මානව සංවර්ධනය ඉදිරියට ගෙන යෑම පමා කළ යුතු නැත. වන ජීවීන් කියන්නේ ද අප සතු ප්‍රධාන පෙළේ ස්වාභාවික සම්පතකි.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »