දරුවා පවින් මුදා යහපතෙහි යෙදවීම මවුපිය වගකීමයි

2015-09-28 11:08:00       658
feature-top
සමාජයේ මූලිකම ඒකකය නිර්මාණය වන්නේ ගැහැනිය සහ පිරිමියා යන දෙදෙනා අන්‍යෝන්‍ය අවබෝධයෙන් විවාහය ආරම්භ කිරීමත් සමඟ ය. පවුලේ මුල්ම පුරුක වන්නේ ද ඔවුන් ම ය. සමාජයට මානව සම්පත දායාද කරන්නේ ඔවුන් දෙදෙනා ය. සමාජයක ඉදිරිය තීරණය කරන එම කාර්යයේ දී, බුදු දහමට අනුවත්, අන්‍ය සෑම ආගමකට අනුවත් අනුගමනය කළ යුතු විධිමත් ක්‍රමවේදයක් තිබේ. සමාජය පිරිහීමට පත්වන්නේ එය ඉක්මවා ගිය විට දී ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ යම් කාන්තාවක් මවු පදවිය ලබනවා නම්, යම් පිරිමියෙක් පිය පදවිය ලබනවා නම් ඔවුන් ඊට වඩාත් සුදුසු පුද්ගලයන් විය යුතු බවයි. ඔවුන් බිහි කරන දරුවා සමාජයට හිරිහැරයක් කරදරයක් නොවන වැඩදායක පුද්ගලයෙකු බවට පත් කිරීම ඔවුන්ගේ වගකීම වන බව උන්වහන්සේ පෙන්වා දුන්හ. මේ වගකීම් අතර දරුවන් පවින් මුදවා ගැනීම පළමුවැන්න ය. කුඩා කල සිටම පවට බිය ඇති කෙනා වැඩිහිටියකු වූ පසුව ද ඒ පුරුද්ද අත් නොහරී.

සමාජයේ අයහපත්කම්, නරක අදට පමණක් පොදු වූ දේ නොවේ. අතීතයේ ද හොඳ මෙන් ම නරක සිදු විය. දරුවන් සෑම කල්හි ම යහපත් කටයුතුවල නිරත කරවිය යුතු වන්නේ එහෙයිනි. අනුන්ට ගරු කරන්නට ඉගැන්වීම එහිදී ඉතා වැදගත් ගුණාංගයකි. එවැනි දරුවා වැඩිහිටියකු වූ පසුව ද අනුන්ට ගරු කරයි.

මව, පියා හඳුනයි. ආච්චී සීයා හඳුනයි. සහෝදර සහෝදරියන්, මිතුරු මිතුරියන්, අසල්වැසියන් හඳුනයි. පොදුවේ මනුෂ්‍යත්වයට ගරු කරයි. දරුවා ආගමික ස්ථානයකට කැඳවාගෙන ගොස් වතාවත් ඉටු කරවීම, දුගී මඟීන්ට යමක් දෙන්නට සැලැස්වීම, අසරණයෙක් දුටු විට පිහිට වීමට කියා දීම තුළ දරුවා හුරුවන්නේ සමාජයට ආදරය කිරීමටයි. වැඩිවියට පත් වූ විට ද ඒ ගතිගුණ නොවෙනස් වෙයි.

පවින් මුදවා, යහපතෙහි යොදවන දරුවා වෙනුවෙන් ඊළඟට විය යුතු වගකීම ශිල්ප ශාස්ත්‍ර ලබා දීමය. එවිට අනාගතයේ වඩාත් හිතකර, මානව හිතවාදී වෘත්තිය නියැළෙන්නට ඔහුට ශක්‍යතාවය ලැබේ. එහෙත් අද සමහර මවුපියන් මුල් තැන දෙන්නේ ශිල්ප ශාස්ත්‍ර ලබා දීමට මිස දරුවන් පවින් මුදවා ගැනීමට හෝ හොඳ ක්‍රියාවන්හි නිරත කරවීමට නොවේ. අධ්‍යාපනය ලබා දීමටය.

පුතා ඩොක්ටර් කෙනෙක් වුණොත් හුඟක් සල්ලි හම්බ කරන්න පුළුවන්

එහිදී ද මුල් වන්නේ මෙවැනි ආකල්පයන් ය. වාණිජමය හැඟීම මිස අසරණ රෝගීන්ට බේත් හේත් ලබා දී ඔවුන් සුවපත් කර දීමේ දයානුකම්පී හැඟීම නොවේ. වරද ඇත්තේ එතැනය. වැඩිහිටියන්ගේ එවැනි ආකල්ප අනුව කටයුතු කරන දරුවා තුළින් ඔහු වැඩිහිටියකු වූ පසුව ද මනුෂ්‍යත්වය, සංවේදී බව අපේක්ෂා කළ නොහැකිය. මේ එක් උදාහරණයක් පමණි.

මේ සමාජයේ විවිධ චරිත ජීවත්වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. රාග චරිත, ද්වේෂ චරිත හා මෝහ චරිත වශයෙනි. කපටි බව, අසීමාන්තික ආශාව, පවිටු දේට ම ප්‍රිය වීම, වෛරය, ගුණමකු බව, අනවබෝධය, ආදි ගති ලක්ෂණ මේ චරිතයන්හි ස්වභාවයයි. සමාජයේ තවත් චරිත වේ. ඒ සද්ධා චරිත, බුද්ධි චරිත හා විතක්ක චරිත වශයෙනි. පරිත්‍යාගශීලී බව, ධර්මය ශ්‍රවණයෙහි කැමැත්ත, සංවේදී බව, මනා සිහියෙන් සහ නුවණින් කටයුතු කිරීම, මානසික ඒකාග්‍ර බව, තර්කානුකූල බව යනාදී ගති මේ චරිතයන්හි ස්වභාවයයි.

අපට උපතින් ම සමහර දේ ලැබේ. සාංසාරිකව රැගෙන ආ දේ ය. මුල් කාලයේ දී එය හඳුනා ගැනීම වැදගත් ය. එහි විශේෂඥයෝ අන් කවරකු හෝ නොව මවුපියන්මය. දරුවාගේ චරිතය හඳුනාගෙන නියම මාර්ගයට යොමු කරන්නට ඔවුන් දැන ගත යුතුය. රාග චරිතයක් නම් දරුවාට එහි ආදීනව වටහා දී, වටහා ගැනීමට ඉඩ සලසා දී ඔහු ඉන් මුදවා ගත යුතුය.

එහෙත් මවුපියන් ඇති ප්‍රමාණයටත් වඩා වැඩියෙන් කියා ගන්නා කාර්ය බහුලත්වය නිසා අද දරුවන් මවුපියන්ගෙන් දුරස් වී සිටී. සමාජය නිරීක්ෂණය කිරීමේ දී ඒ ප්‍රමාණය සියයට අසූවක් තරම් ප්‍රමාණයක් වන බව පැහැදිලි වේ. මිනිසුන් පන්සලෙන්, ආගමික සිද්ධස්ථානයෙන් දුරස් වන තරමට, ආගමික සිද්ධස්ථානයකින් ජීවිතය හසුරුවා ගත යුතු ආකාරය පිළිබඳව නියම අවබෝධය ලබා නොදීම තුළ සිදුවන්නේ මිනිසුන් කෙරෙන් පවට ඇති බිය දුරු වීමය. ලජ්ජා බය ආරක්ෂා නොවීමය. පුංචි දැරියක ගේ පවා ජීවිතය අනාරක්ෂිත වන තරමට සමාජය පිරිහෙන්නේ ඒ නිසාය.

අනෙක් අතින් තාක්ෂණය මිනිසා ගේ මනස අවුල් කරන තැනට පත් වී තිබේ. භාණ්ඩ පමණක් නොව පුද්ගල චරිතවලට පවා වාණිජ වටිනාකම් ලබා දෙන ආකාරය සුලබය. යමක් විකුණා ගන්නට බහුලව තෝරා ගන්නේ කාමය උපදවන දේ ය. දරුවන් සහභාගි කරවා ගනිමින් කරන ඇතැම් තරු වැඩසටහන් වලදී පවා, දැක ගත හැකි වන්නේ සංස්කෘතික සෝදා පාළුවකි. හය හතර නොතේරෙන දරුවා ඇඳුමෙන් පැලඳුමෙන් කාමුක චරිත බවට පත්කිරීමෙන් වන සමාජ විනාශය හා පාපය බාර ගත යුතු වන්නේ ද අඥාන වැඩිහිටියන් ම ය. ස්මාර්ට් ෆෝන් ලෙස අද ප්‍රචලිත ව ඇති දුරකථනයන් ගෙන් වැඩිහිටියන් අත් නොවිඳී දේ තරුණ දරුවන් විඳී. මේ අත්විඳීම් ඇබ්බැහි වීම් බවට පත් වූ විට ඇති වන්නේ මානසික ආතතියකි. කාමාශාවන් ගැන ඇතිවන ඒ ආතතියේ කෙළවර ඒවා ඉටුකර ගැනීමට උත්සාහ කිරීමය. මවුපියන්, සහෝදර, සහෝදරියන්, ආච්චි සීයා පවා නොහඳුනන්නේ නොපෙනෙන්නේ එතැන දී ය. එය තමන්ට පමණක් නොව මුළුමහත් සමාජයටම හිරිහැරයකි. ව්‍යසනයකි.

මාධ්‍ය භාවිතය ද යම් අනිවාර්ය ආචාර ධර්ම පද්ධතියකට ගොනු කළ යුතු කාලය එළඹ තිබේ. මාධ්‍යයෙන් ග්‍රාහකයා වෙත ගෙන යන දේ සබුද්ධික භාවිතයෙන් තොරව අන්ධානුකරණයට යාම ඊට හේතුවයි. සමහර මාධ්‍ය යම් යම් උණුසුම් පුවත් ලෙස විකාශනය කරමින් යම් සිදුවීම්වලට දෙන ප්‍රසිද්ධිය තරම් එහි විපාකයනට ප්‍රසිද්ධිය ලබා නොදේ. ප්‍රායෝගිකව මෙන් ම ආගමික වශයෙන් කළකම් පල දෙන හැටි මීට වඩා ප්‍රසිද්ධ කරනවා නම් මිනිසුන් කෙරෙහි යම් තාක් දුරකට හෝ පවට ඇති බිය වර්ධනය කළ හැකිය.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »