අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවීම:තාවකාලික පිළියම විදුලි වැට ස්ථිරසාර විසඳුම තල් වැට

2015-09-21 09:36:00       595
feature-top

අපගේ ම දුර්වලතා අපේක්ෂිත තත්ත්ව ඉක්මවා යමින් අපට උපකාර කරයි.

- විලියම් ජේම්ස්

අතීතයේ සිට ම මේ රටේ වනාන්තරවල අලි ඇත්තු ජීවත් වූහ. මිනිස් ජනාවාස ද හිඟ නොවී ය. එහෙත් ඒ අතීතයේ දී කිසි දාක ජනාවාසවලට කඩා වැදුණු අලි ඇතුන් මිනිසුන් මරා දමමින් ඔවුන්ගේ බවභෝග වනසා දැමු බවක් විශේෂ වශයෙන් වාර්තා වී නැත. එසේ වුව මෑත කාලීනව අලි ඇතුන් සහ මිනිසුන් අතර ඇති වී ඇති විරසකය අවසානයේ දී දෙපාර්ශ්වයේ ම මරණවලින් අවසන් වන තැනට කටයුතු යෙදී තිබේ. අලි මිනිස් ගැටුම නමින් එය හැඳින්වේ.

කෙසේ වෙතත් මේ අලි මිනිස් ගැටුම යන හඳුනා ගැනීමම ප්‍රශ්නය වැරදි කොනින් අල්ලා ගැනීමක් යැයි ජ්‍යෙෂ්ඨ පරිසරවේදීහු පෙන්වා දෙති. ඇත්ත වශයෙන් ම වර්තමානයේ දී සිදු වන්නේ අලින් ගේ සාම්ප්‍රදායික වාස භූමි මිනිසුන් විසින් අත්පත් කර ගැනීම යි. ඒ අනුව මේ ගැටුමේ සම්පූර්ණ කර්තෘත්වය මිනිසුන්ට මිස අලි ඇතුන්ට පැවරීම සාධාරණ නැත. අලි ඇතුන් යනු ඉහත කී සිද්ධියට අදාළව අවතැන් වූ සත්ත්ව විශේෂයක් වේ.

අලි ඇතුන් ගම් වැදීම වැළැක්වීමට අදටත් සාර්ථක ක්‍රමෝපායක් වශයෙන් විදුලි වැට සැලකෙයි. කෙසේ වෙතත් සිදු කොට ඇති පරිසරවේදීන්ගේ නිරීක්ෂණ වාර්තාවලට අනුව නම් ඒ ක්‍රමවේදය අසාර්ථක වෙමින් පවතී. වනජීවි නිලධාරින්ගේ කරුණු ඉදිරිපත් කිරීමට අනුව ඇතැම් ප්‍රදේශවල මේ විදුලි වැට හරිහැටි ක්‍රියාත්මක නොවන්නේ ගම්මුන්ගේම වැරදි ක්‍රියා නිසා ය. ප්‍රදේශවාසීන් එය තමන්ගේ වගකීමක් ලෙසින් සලකා කටයුතු කරන බවක් දැකිය නොහැකිය.

විදුලි වැට බිඳ වැටීම්

අනිත් අතට ගම්මුන් චෝදනා කරන්නේ විදුලි වැටේ බිඳ වැටීම් ගැන ඒ අවස්ථාවල දී ම දැනුම් දුන්නත් වන ජීවි නිලධාරීන්ගේ උදාසීනත්වය නිසා යළි පිළිසකර කළ නොහැකි ආකාරයෙන් අලින් විසින් ලබන බව යි.

මේ අතර ජ්‍යෙෂ්ඨ පරිසරවේදීන් විදුලි වැටට අදාළව හඳුනාගත් තත්ත්වයක් ද තිබේ. හොඳම විසඳුමක් ලෙසින් විදුලි වැට ක්‍රමය රජය අදටත් පිළිගෙන ඇති පසුබිමක ඊට රු. මිලියන ගණනින් වැය කිරීම් ද සිදු වේ. එහෙත් එසේ තිබියදීත් ඇතැම් ප්‍රදේශවල වන අලින් විදුලි වැට අබිබවමින් කටයුතු කරන තත්ත්වයක් ද නිර්මාණය වෙමින් පවතී. ඒ සම්බන්ධයෙන් සිදු කරන්නට යෙදුණු නිරීක්ෂණ පෙන්වා දෙන්නේ අලි ඇතුන් මේ විදුලි කම්පනයට ඔරොත්තු දෙන තත්ත්වයක් ගොඩ නඟා ගනිමින් සිටින බවයි. ඒ අනුව විදුලි වැට බාධකයක් කර නො ගනිමින් මේ සතුන් ගම් වදින තත්ත්වයක් ඇති වෙමින් තිබේ.

අලි ඇතුන් ගම් වැදීම, මූලික වශයෙන් ම ඔවුන්ගේ ආහාර ප්‍රශ්නය හා බැඳී පවතින්නක් වේ. ඔවුන්ගේ ආවේණික චර්යාවට අනුව අඩුම තරමින් දවසකට කි. මී. 5 ත් 8 ත් අතර දුරක් තුළ ඔව්හු ආහාර සොයමින් ඇවිද යති. ඒ අනුව අලියා ගොවිපළවලට කඩා වැදීම වැළැක්වීමට නම් ඒ සතුන්ගේ ආහාර ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම අවශ්‍යය. මේ කරුණ සැලකිල්ලට ගනිමින් අලින් ගම් වැදීම වළක්වා ගැනීමටත්, ඔවුන්ගේ ආහාර ප්‍රශ්නය විසඳීමටත් විසඳුම් සපයන ක්‍රමවේදයක් ගැන සාකච්ඡා කිරීමට ප්රැක්ටිකල් ඇක්ෂන් නම් ස්වේච්ඡා ආයතනය පසුගිය කාලයේ දී ඉදිරිපත් විය. එහි සම්බන්ධීකරණ කටයුතු සිදු කළේ ධනුෂි සේනානායක ය. එතැන දී, ඔවුන් පෙන්වා දුන්නේ විදුලි වැට වෙනුවට තල් ගස (Palmyra) පිළිගත් දුරකින් සිටුවා වැටක් ලෙසින් ගොඩ නැඟීමෙන් අලින්ගේ ගම් වැදීමට එරෙහි ව අවශ්‍ය භෞතික බාධකය මෙන් ම ආහාර ප්‍රශ්නයට ද විසඳුමක් ලැබෙන බව ය.

ඒ ආකාරයට අවශ්‍ය දුර ප්‍රමාණයක් තුළ සකස් කෙරෙන තාල ගස් වැට (Palmyra Fence) අලින්ගේ ගමන වැළැක්වීමට සමත් ප්‍රමාණවත් ශක්තියකින් යුක්ත ය. දෙවනුව අලි ඇතුන්ට එමඟින් ආහාර සම්පාදනයක් ද සිදු වේ. එසේ ගත් කල ඔවුන් අතින් මේ ස්වාභාවික බාධාව පෙරළා දැමීමට ඇති ඉඩ අවසරය තවදුරටත් අවම වේ. කෙසේ වුව යෝජිත තල් වැට ක්‍රමය එවකට පැවැති රජයේ හෝ බලධාරීන්ගේ අවධානය දිනා ගත්තේ යැයි කිව නො හැක. ඒ නිසා ම එතැනින් එහාට ඒ ගැන සාකච්ඡාවක්වත් සිදු නො විණ.

කෙසේ වෙතත් නව රජයේ වන ජීවි සංරක්ෂණ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කොට ඇති බවක් වාර්තා වේ. මුලින් ම පවත්නා අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමක් වශයෙන් දිසාපතිවරයා ද ග්‍රාමසේවා නිලධාරින් ද අයත් වන කමිටුවක් පිහිටුවීමට කටයුතු කොට තිබේ. පසුව පවත්නා විදුලි වැට ක්‍රමවේදය හා සමගාමීව වැඩෙන ආකාරයෙන් තල් ගස් සිටුවීම සුදුසු යැයි යෝජනා වී ඇත. අඩි දෙකක පරතරයක් ඇතිව පඳුරු වශයෙන් සකස් කෙරෙන තල් වැට ක්‍රමවේදය දිගු කාලීන විසඳුමක් වශයෙන් හඳුනා ගනියි. ඊට හේතුව තාල වෘක්ෂය අදාළ කටයුත්ත වෙනුවෙන් නිසි වයසට ඒමට වසර තුනකවත් කාලයක් ගත කිරීම යි.

විශේෂයෙන් ම ජාතික වනෝද්‍යාන ආසන්නයේ වෙසෙන ජනතාව එක්වරට ම අලි ඇතුන්ගේ ප්‍රහාරයට ගොදුරු වීමට ඇති විවෘත අවදානම මේ මඟින් ප්‍රමාණවත් ආකාරයකට වළක්වා ගත හැකි යැයි විශ්වාස කෙරේ. මේ වන විටත් හඳුනාගෙන ඇති ආකාරයට, බහුල වශයෙන් අලි ඇතුන් ඒකරාශි වී සිටින භූ කලාපයක් වශයෙන් වයඹ මුල් තැනට එයි. මෙහි ඇති අනිත් විශේෂත්වය වන්නේ සියයට 75 ක තරම් ප්‍රතිශතයකින් යුත් ජනගහනයක් එම කලාපයේ රක්ෂිත වනෝද්‍යාන මෙන් ම අභය භූමි වටලමින් පදිංචි වී සිටීමයි. ජාතික වනෝද්‍යානයක් වන විල්පත්තුව ද අද පවතින්නේ එසේ මිනිස් ජනාවාසවලින් වටලන ලදුවය. මේ නිසා ම වයඹ ප්‍රදේශයේ බොහෝ ගම් බිම් සහ වගා බිම් අලි මිනිස් ගැටුමේ ගොදුරු බිම් බවට පත් ව තිබේ.

තල් වැට බාධකය අලි මිනිස් ගැටුමට යහපත් සම්බාධකයක් විය හැකි බවට අදාළ බලධාරීන් විසින් බලාපොරොත්තු ඇති කරගෙන තිබේ. කෙසේ වෙතත් බලාපොරොත්තු පමණක් ම සැලසුම් සාර්ථක නො කරයි. ඒ සඳහා නිසි මැදිහත් වීමක් ද අවශ්‍යය. අතීතයේ දී අලින් ගම්වැදීම වළක්වන්න යැයි පවසමින් මෙරටට ආගන්තුක (ආක්‍රමණික ශාක විශේෂයක් ලෙසින් ගැනෙන) ගඳපාන නමින් හැඳින්වෙන ශාකය ගම්මාන මායිම්වල සිටුවා තිබේ. එම ශාකයේ ගන්ධය ප්‍රිය නොකරන අලි ඇතුන් ඒ නිසා ම එම සීමාවෙන් ඉවත්ව යන බවට හඳුනා ගැනිණි. නමුත් ගම් සීමාවල වවන ලද මෙම ශාකය පසුව වනෝද්‍යාන තුළට ද පැතිර යෑම සිදු වූයේ ඒ පිළිබඳව නිසි අධීක්ෂණයක් නැති වීම නිසා ය. අලි ඇතුන් වෙසෙන වනාන්තර තුළට ව්‍යාප්ත වූ ගඳපාන ශාකය නිසා අවසානයේ දී සිදු වුණේ වනාන්තර තුළ සිටින අලි ඇතුන් ද වනය අත්හැර ගම්මානවලට පැමිණීම යි. යම් ප්‍රශ්නයකට විසඳුමක් ලබා දීමේ දී සැලසුමක් ඇතිව අධීක්ෂණයෙන් යුතුව එම කටයුතු සිදු නොකළ කල්හි විසඳුම ව්‍යසනයක් ලෙසින් නිර්මාණය වන ආකාරය අදටත් මුළුමනින්ම විසඳී නැති ගඳපාන නිදර්ශකය පෙන්වා දෙයි.

අලි වාස භූමි අලින්ටම

ප්‍රවීණ වන ජීවි නිලධාරියකු වන වෛද්‍ය නන්දන අතපත්තු මහතා පෙන්වා දෙන ආකාරයට සිය සම්ප්‍රදායික වාසභූමි සහ මංපෙත් පිළිබඳ මතකය අලි ඇතුන් ගෙන් ඉවත් කිරීම පහසු නොවේ. ඉදින් යමෙකු ඒ වෙනුවෙන් සූදානම් වෙනවා නම් පරම්පරා හතක් තරම් කාල පරාසයකට අයත් අලි ඇතුන් මිහිමතින් වනසා දැමිය යුතුමය. ඒ සා සාපරාධි අත්දැකීමක් අපට අවශ්‍ය නැතැයි යන්න අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ඒ නිසා අලි මිනිස් ගැටුම යැයි අප හඳුනාගෙන ඇති තත්ත්වයට ඉදිරිපත් වන විසඳුම් කුමන තලයකින් ලබා දුන්නත් අලින්ගේ සාම්ප්‍රදායික වාස භූමි ඔවුන් වෙනුවෙන් නිදහස් කිරීම අවශ්‍ය ම කටයුත්තකි. වර්තමානයේ ඉදිරිපත් ව ඇති තල් වැට විසඳුම ද ස්ථිරසාර විසඳුමක් ලෙසින් පිළිගැනීමට හැකි වන්නේ එවැනි පසුබිමක් තුළ පමණි. විදුලි වැට කෙතරම් සංවිධානාත්මක විසඳුමක් වුණත් ලද හැම අවසරයක දී ම අලි ඇතුන් එයට අභියෝග කරන්නේ සිය සාම්ප්‍රදායික පැවැත්මේ බිම් ද එමඟින් අවහිර කොට ඇති බැවිනි. Elephant belt නමින් වෛද්‍ය නන්දන අතපත්තු විසින් ඉදිරිපත් කොට ඇති විසඳුමට පාදක වී ඇත්තේ එම සතුන්ගේ වාස භූමි ඔවුන්ට ලබා දෙන ක්‍රම වේදයකි.

මෙතැන දී අප අලියා නමැති සත්ත්වයාගේ සුවිශේෂත්වය හඳුනා ගැනීම වැදගත් වේ. ඒ අනුව බොහෝමයක් ජෛව විශේෂ මෙන් වනාන්තරයකට හෝ තෝරා ගත් ප්‍රදේශයකට සීමා වෙමින් සිය ජීවිත කාලය ගෙවා දැමීමට අලියා සූදානම් නැත. පරිසරවේදී සුපුන් ළහිරු ද අලි ඇතුන්ගේ සංචරණ පැවැත්ම ගැන පෙන්වා දී තිබේ. ඒ අනුව සාමාන්‍ය පුරුද්දක් වශයෙන් ඔවුහු කි. මී. 200 ක් හෝ 300 ක දුර ප්‍රමාණයක් ඇවිද යති. කුමන බාධාවකින් වත් ඒ තත්ත්වය වැළැක්විය නොහැක. අලි මිනිස් ගැටුම වශයෙන් සාකච්ඡාවට ලක් වෙමින් පවතින්නේ ඒ තත්ත්වය වළක්වමින් අවිධිමත් හෝ නොදැනුවත්කමින් කරන ලද ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාකයයි. ඒ නිසාම ඔවුන්ගේ ඒ සංචරණ අයිතිය ලබා නොදී යෝජනා කෙරෙන කිසිඳු විසඳුමකට අලි ඇතුන් එකඟ නොවන බව පැහැදිලි ය.

මෙහි දී නැවතත් නව විසඳුම වන තල් වැට විසඳුම ගැන සලකා බැලුවහොත් එක් අතකින් එය අලි ඇතුන්ට භෞතික බාධාවකින් එහා ගිය ආහාර සැපයීමක් ද නිර්මාණය කිරීම සාධනීය තත්ත්වයක් වේ. තනි ගසක් වශයෙන් නොව පඳුරක් වශයෙන් සිටුවීමට වර්තමානයේ දී යෝජනා කොට තිබීම තුළ අලියාට එරෙහිව ගොඩ නැ‍ඟෙන බාධකයේ ශක්තිය ගැන ද පැහැදිලි තක්සේරුවක් ඇති වේ. අනිත් අතට ගොවිපළට පනින අලි ඇතුන් තමන් වඩාත් ප්‍රිය කරන වට්ටක්කා මෙන් ම කෙසෙල් දෙපළු කරමින් ආහාරයට ගැනීම වළක්වන (තල් ද අලින් ගේ ප්‍රියතම භෝජනයක් ලෙසින් ගැනේ.) ආහාරමය විසඳුමක් වශයෙන් ද එයට වටිනාකමක් හිමි වේ.

ඒ සමඟම තාල වෘක්ෂ ප්‍රදේශවාසීන්ට ද යහපත් ආදායම් මාර්ගයක් ලබා දීමේ ප්‍රවණතාව වශයෙන් ද යෝජනා කොට තිබේ. ඒ නිසා ම එක් අතකින් අලින්ට භෞතික බාධකයක් නිර්මාණය කෙරෙන මේ වැට අනිත් අතින් ප්‍රදේශවාසීන්ට ආදායම් උපදවන ආර්ථික මූලාශ්‍රයක් බවට පත් වීම තුළ එම තල් ගස් වැට රැක බලා ගැනීමේ වටිනාකම ගැන ප්‍රදේශවාසීන්ට අමුතුවෙන් කියා දීමට අවශ්‍ය නොවේ.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »