කැලණි ගඟේ තෙල් යනවා බලා වරෙන් !

2015-09-14 09:11:00       580
feature-top
සම්බුද්ධ පාද ස්පර්ශයෙන් පූජනීය වූ කැලණි පුද බිම අසලින් ගලායන කැලණි නදිය අද එය අවට කර්මාන්ත ශාලා නිසා වගුරු නදියක් අයුරින් ජල දූෂණයට ලක්වී තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රංජිත් බාලසූරිය පෙන්වාදෙන පරිදි ජල පාරිභෝගිකයන් ලක්ෂ 20 කට පමණ ජලය පිරිසුදු කර ලබාදෙන අඹතලේ ජල පවිත්‍රාගාරය ඉහළ සිට කැලණි ගඟට විවිධ කර්මාන්ත ශාලා 150 කින් පමණ ශරීරයට අහිතකර අපද්‍රව්‍ය එක් කරනු ලැබේ.

මේ තත්ත්වය ඉතා දරුණු වී ඇත්තේ අඹතලේ අවට කිලෝමීටර් 5 ක ප්‍රදේශයක ය. ඒ අනුව කැලණි ග‍ඟේ අක්කර 27 ක් පුරා ප්‍රදේශයක ජලය ජීවීන්ට ශාකවලට අහිතකර ලෙස‍ දූෂණය වී ඇතැයි පරිසරවේදීහු ද පෙන්වා දෙති.

පසුගිය අගෝස්තු 17 වැනිදා කොකා කෝලා සමාගමින් කැලණි ගඟට එක් කළ තෙල් තට්ටුවක් කැලණි ග‍ඟේ අඹතලේ ජල පවිත්‍රාගාරයට ඇතුළුවීම නිසා මුළු කොළඹ දිසාවටම ජලය සැපයීම නතර විය.

මීට වසර 10 - 15 කට පමණ පෙර මධ්‍යම පරිසර අධිකාරිය කැලණි ග‍ඟේ ජලය පිළිබඳව සංරක්ෂණ ව්‍යාපෘති කීපයක් ක්‍රියාවට නැංවීය. ජලයේ තත්ත්වය පිළිබඳ පරීක්ෂණ ස්ථාන ද පිහිටුවිය.

එහෙත් දැන් ඒවා ක්‍රියාත්මක වන බවත් දැනගන්නට නැත. අඩු ගණනේ කැලණි ගඟට අපද්‍රව්‍ය නිකුත් කිරීම වැළැක්වීම පිළිබඳ අදාළ ආයතන වලට පියවර ගැනීමට බැරි නම් අඹතලේ ජල පවිත්‍රාගාරයට ඇතුළු වීමට පෙර කිලෝමීටර් 10 - 12 ක් ආසන්න ප්‍රදේශවල ජලයවත් පරික්ෂාවට මධ්‍යම පරිසර අධිකාරිය හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යම් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතු ය‍. මේ සඳහා අවිස්සාවේල්ලේ සිට මෝදර දක්වා කැලණි ගඟ දෙපස කර්මාන්ත ශාලා, ලී මෝල්, හෝටල් නේවාසිකාගාර හිමියන් පමණක් නොව නිවාස හිමියන් ද පූර්ණ සහයෝගය දැක්විය යුතු ය. ඉන් සුන්දර කැලණි ගඟට සිදුවී ඇති අසුන්දර තත්ත්වය මුලිනුපුටා දැමිය හැකි ය.

මධ්‍යම පරිසර අධිකාරිය, අදාළ ප්‍රදේශවල කැලණි ගඟ අවට පළාත් පාලන ආයතන අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථාන, සිවිල් ආරක්ෂක නිලධාරීන්, ප්‍රාදේශීය පරිසර නිලධාරීන් ප්‍රාදේශීය ලේකම්වරු මෙන් ම පරිසර සංවිධාන ද වේ. සුවිශේෂ වැඩපිළිවෙළට උදව් කළ යුතු ය.

මේ සියලු දෙනා එක්වූවොත් අපද්‍රව්‍යවලින් දූෂණය වූ කැලණි ගඟ පවිත්‍ර කර ගත හැකි ය.

අපේ රටේ ජල පාරිභෝගිකයන් ලක්ෂ 25 කට සෙත සලසන කැලණි ග‍ඟේ සෙවණ ලබන සත්ව හා ශාක පද්ධතිවලට සහන සලසන මේ පරිසර හිතකාමී වැඩපිළිවෙළ ක්‍රියාවන් නැංවීමට රජයේ උදවු ඇතිව ක්‍රියාත්මක කිරීමට අපි සැවොම අදිටන් කරගනිමු. එය ලොකු පින්කමකි. රටටම සෙතකි.

මෙවැනි සාමූහික උත්සාහ මඟින් පරිසර ගැටලු ජය ගැනීම අපට අලුත් දෙයක් නොවේ. අප එසේ කියන්නේ විශ්වයට මුහුණදී ඇති පරිසර ගැටලුවකට මුහුණ දී විසඳීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ලොව ප්‍රථම ස්ථානය අපේ රටට ලැබීම නිසා ය.

හිරු එළියෙන් ලැබෙන අපට අහිතකර පාරජම්බුල විකිරණවලින් අපේ ලෝකයම සුරකින ඕසෝන් ස්තරයේ වර්ග සැතපුම් ලක්ෂ 230 ක සිදුරක් ඇති වී ඇතැයි 1995 - 2000 වකවානුවේදී ලොව පුරා ප්‍රචලිත විය. එම සිදුර නිසා මුළු ලෝකයේ ම ජනතාවට විවිධ රෝගාබාධ ඇතිවෙන බවක් ලොව ධාන්‍ය අස්වැන්න හා මත්ස්‍ය වර්ධනය අඩුවෙන බවටත් මත පළ විය. මේ සිදුර ක්‍රමයෙන් වර්ධනය වූ බව ද වාර්තා විය.

මේ හානිය වැළැක්වීමට ලොව සියලු රටවල් එක්වී මොන්ට්‍රියල් සන්ධානයේ පිහිටුවා ගත්තේ ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමේ අභිලාෂයෙනි. ඒ අනුව ඕසෝන් ස්තරය විනාශ කරන ක්ලෝරො ෆ්ලෝරො කාබන් (CFC) වායුව සහිත ශීතකරණ, වායුසමීකරණ හා සුවඳ විලවුන් දවටන සඳහා නව ඕසෝන් හිතකර වායුන් හඳුන්වා දීම යම් යම් වසරවලට පෙර කළ යුතුව තිබිණි. ඊට අමතරව මීතයිල් බ්‍රෝමයිඩ් වැනි රසායනික ද භාවිතයෙන් ඉවත් කළ යුතුව තිබිණි. ඒ කටයුතු වෙනුවෙන් සැප්තැම්බර් 16 ඕසෝන් දිනය ලෙස ද නම් කෙරිණි. ඒ අනුව විශේෂයෙන් 2010 වසර වනවිට සෑම රටකම ඕසෝන් විනාශකාරී ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු විය.

ශ්‍රී ලංකාව ද මෙම ජගත් මොන්ට්‍රියල් සන්ධානයට හා එහි නීති රීතිවලට අස්සන් කර තිබිණි. අපේ රට මේ සන්ධානයේ නීති රීති අනුව අකුරට ම තම වගකීම් ඉටු කළේ ය‍. ඒ සඳහා පරිසර අමාත්‍යාංශය හා මේ කටයුත්තට සම්බන්ධ සියලු ආයතන මෙන් ම අදාළ ශ‍ීතකරණ, වායුසමීකරණ, සුවඳ විලවුන් හා සමහර රසායනික ද්‍රව්‍ය භාවිත කළ ජනතාව ද පූර්ණ සහාය ලබාදුන්හ.

ඕසෝන් ස්තරයට හානිකර ද්‍රව්‍ය අප රටින් ඉවත් කිරීම, ඊට සුදුසු විකල්ප හඳුන්වා දීම, පැරණි යන්ත්‍ර අලුත්වැඩියාව කාර්මිකයන් පුහුණු කිරීම ආදිය පිළිබඳව අප රට 1995 - 2005 වකවානුවේදී ගත් පියවර පිළිබඳව මුළු ලෝකයේ ම ප්‍රථම ස්ථානය 2007 දී ශ්‍රී ලංකාවට හිමිවිය. එකල පරිසර ඇමැති වූ පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් මත එකල මොන්ට්‍රියල් සන්ධාන ඒකකයේ අධිපති ආචාර්ය ඩබ්.එල්. සුමතිපාල මහතා ලෝකයේ ම රටවල් 196 ක් අබිබවා ඒ සම්මානය ලබා ගත්තේ අපේ ර‍ට මුළු ලෝ‍කයේ ම අවධානයට ‍ලක් කරමිනි.

මෙලෙස මුළු ලෝකයේ ම පළමු වැනියා වෙමින් අපේ රටට කිලෝමීටර් 10 ක් උඩින් ඇති ඕසෝන් ස්තරය සුරැකීමට අප සැවොම එක්වී පියවර ගත් අයුරින් මේ මුළු ‍ෙකාළඹ දිසාවටම ජලය සපයන කැලණි ගඟ පිරිසුදු කිරීමට පියවර ගත නොහැකි මන්දැයි අපි ප්‍රශ්න කරමු.‍

තවදුරටත් කැලණි ගඟ ඔය අයුරින් තිබුණහොත් පරණ කවි පදයක් මේ අයුරින් වෙනස් කිරීමට අපට සිදු වනු ඇත.

අත්ත බි‍ඳෙයි පය බුරුලෙන් තබා වරෙන්

කැලණි ග‍ඟේ තෙල් යනවා බලා වරෙන්



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »