යහපත් නිලධාරියාගේ අතහිත වෑතලාවේ මතට තිත ගමට සෙත

2015-08-24 09:47:00       584
feature-top

ඒ දෙදහස් දොළහේ වසරේ දිනකි. මාසය හරියට ම මතක නැති වුවද කොළඹදි අහම්බෙන් හඳුනා ගන්නට ලැබුණු ඩී.බී. රත්නායක මහතා හා ඡායාරූප ශිල්පි විමල් කරුණාතිලක ඇතුළු අපි දිගු ගමනක් ගියෙමු. නුවරඑළිය නගරය පසුකර උඩුපුස්සැල්ලාව නගරය ද පසුකර කිලෝමීටර තිහහතළිහක දුෂ්කර මඟක් ගෙවා මස්පන්න වෑතලාව ගමට ගියෙමු.

අධික සීතල උහුලා ගනු නොහැකි වූ අප දහවල් කාලයේ ද එයින් පීඩා වින්ඳෙමු. නගරය සමඟ නිතර දෙවේලේ සබඳකමක් නැති වෑතලාව ගම්මානය පිළිබඳව අපි එදා; එනම් දෙදහස් දොළහේ අප්‍රේල් 22 සිත්මල් යායෙන් ඔබට කීවේ ගමේ අබලන් පාලම් හදාගත් ගැමියන් පිළිබඳවය. ඔවුන්ගේ ඒ ක්‍රියාකාරකමේ මූලිකයා වූයේ ග්‍රාම නිලධාරී ඩී.බී. රත්නායක ය. මැතිතුමනේ අපේ පාලම අපට හොඳා යන හිසින් අපි ඔබට වෑතලාව ගම්මානයේ ගැමියන්ගේ ආර්ථික සමාජ පසුබිම කීවෙමු.

සීතල පරිසරයකට උරුමකම් කී වෑතලාව ගැමියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය කෘෂි කර්මාන්තයයි. ඔවුහු ගොඩ මඩ ගොවිතැන් කරති. ඒ පරිසරය තුළදි ඉතා සරුසාරව වැඩෙන රෝස මල් පඳුරු නිවෙස්වල වැටමායිම් වෙන්කර තිබෙනු දැක අපි එදා පුදුමවීමු. හෙල්මැලි ක්‍රමයට වගාකරන කුඹුරු යායකදි අපට ගැමියෝ හමුවූහ.

මේ කතාව පැරණිය. මේ එදා අපට හමුවූ ආරියදාසය. ඔහුගේ වයස එදා අවුරුදු හැටකි. රත්නායක ග්‍රාම නිලධාරි මහතා ගම වෙනස් කිරීමට එහි ගියදා පටන්ම වෙහෙස වූවෙකි. ඒ වන විට එයින් උපරිම ප්‍රතිඵල ලැබූ අයෙකි ආරියදාස.

මම මල් කපන්න ගත්තේ අවුරුදු දාසයේදී. ඒ කාලේ ඉඳලම දවසට තුන්වේල ම බිව්වා. අවුරුදු හතළිහක් ම මං බොන්න ඇති. මගේ බීමත්කම නිසා වැඩියෙන් ම පීඩා වින්ඳේ ගෙදර උන්දැ. දවසම බීගත්තම කෑමක් බීමක් ගන්න බැහැ. අනිත් අය උදේට තේ බොනකොට මං බිව්වේ සුරාව. මගෙ බිරිය සීලවතී, ඇයට මං අනන්ත පහර දී ඇති. නමුත් ග්‍රාම නිලධාරි මහත්තයා තමයි මාව වෙනස් කළේ. මාව වෙනස්ම මිනිහෙක් කළේ එතුමා. මම දැන් බොන්නේ නැහැ. අපි දැන් සතුටින් ඉන්නවා. අපේ ගමේ දැන් සුරාව බොන අය අඩුයි.

දෙදහස් දොළහේදි ආරියදාස වෑතලාව ගම්මානය ගැන හා තමන් පිළිබඳව කීවේ එසේය. එදා මෙදාතුර ගෙවී ගිය කාලය වසර තුනකි. මේ කාලය තුළදී වෑතලාව ග්‍රාමය සුරාවෙන් තොරවීම කෙතරම් අගේදැයි කියා සිතෙන්නේ ඊයේ පෙරේදා දවසක අපේ ප්‍රාදේශීය වාර්තාකරු ආර්. රාජමන්ත්‍රී එවා තිබූ තොරතුරු සමඟය.

දෙදහස් අටවසරේ පැවැති හොඳම ග්‍රාමසේවා වසම් තේරීමේ තරගයේදි ඩී.එම්. රත්නායක මහතා ලංකාවෙන් ම තුන්වැනි ස්ථානයට පත්වූයේය. ඊට පෙර වසරේදි ඔහුගේ වසම බදුල්ල දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය හිමිකර ගත්තේය.

අති දුෂ්කර ගම්මානයක් වන වෑතලාව ගමේ මීට අවුරුදු ගණනකට පෙර කෘෂිකර්මය හැරෙන්නට වෙනත් ආදායම් මාර්ගයක් නොතිබිණි. මේ නිසා බොහෝ ගැමියන් කෙටි මාර්ගවලින් මුදල් ඉපයීමට උත්සාහ දැරූහ. එහි ප්‍රතිඵලයක් වුණේ ගම තුළ හොර අරක්කු පෙරීමේ තැන් කිහිපයක් ම ආරම්භ වීමය. ඉන්පසු දරිද්‍රතාවෙන් පෙළුණ ද ගැමියෝ මතට ඇබ්බැහි වූහ. පවුල් ආරවුල් වැඩිවීම එහි අතුරු ප්‍රතිඵලයක් විය. ක්‍රමයෙන් පරිහානියට යන ගම්මුන් නිසි මඟට ගැනීමට රත්නායක මහතා ඉටා ගත්තේ මේ අතරතුරය.

වෑතලාව ග්‍රාමයේ ජීවත්වන මුළු පවුල් සංඛ්‍යාව දෙසිය පනස් හයකි. ගෙවී ගිය කාලය තුළදී මොවුන් අතර තිබූ මතට ලොල්වීමේ ගැටලුවට විසඳුම් සෙවීම ආරම්භ වූයේ දෙදහස් එකොළහ වසරේදි පමණය.

ඌව පරණගම, මස්පන්න, නායගෙදර පදිංචි ආර්.ඩී. තිලකරත්න ගොවිතැනින් ජීවත් වන්නෙකි.

අපේ ගම කැලෑවෙන් වටවෙලා තියෙන්නේ. ඉස්සර ඉඳලම අපි හේන් ගොවිතැන තමයි කළේ. මීට කාලෙකට ඉස්සර මේ ගම් දුෂ්කරයි කියලා රජයේ නිලධාරින්වත් මෙහෙට ආවේ නැහැ. රජයේ නිලධාරීන් කියලා නිතර ආවා නම් ආවේ පොලිසියේ මහත්තුරු විතරයි. ඒ හොර අරක්කු අල්ලන්න. සමහරු කිතුල්ගස් මැද්දා. සමහරු හොර අරක්කු පෙරුවා. මමත් අවුරුදු පහක් හයක් කසිප්පු පෙරුවා. ඒත් මට ඒක වැඩිකල් කරගෙන යන්න ලැබුණේ නැහැ. ග්‍රාම නිලධාරි මහත්තයා මාව අල්ලලා පොලීසියට බාර දුන්නා. මාව උසාවි දම්මලා දඩ ගැස්සුවා. මං ඒ කාලේ හිතුවා සල්ලි හම්බකරන්න තියෙන ලේසිම මඟ තමයි හොර අරක්කු පෙරීම කියලා. මට උසාවියේදි රුපියල් පනස්දහසක දඩ මුදලක් ගෙවන්න නියම කළා. නමුත් මා ළඟ මුදල් තිබුණේ නැහැ. මේ නිසා මට මාස හයක් හිරේ ඉන්න වුණා. ඊට කලින් වතාවල පොලීසියෙන් අල්ලලා උසාවි දැම්මම දඩ මුදල් ගෙවන්න හිතවත් අයගේ රත්තරන් බඩු පවා උගස් තියන්න සිදුවුණා. කොහොම නමුත් රත්නායක මහත්තයා මට කසිප්පු පෙරන්න එපා කියලා නිතර නිතර අවවාද කළා. ඔහු මට කිව්වා රස්සාවක් නැත්නම් කුලී වැඩ කරන්න කියලා. අන්තිමට මං ඒ නරක වැඩේ නතර කළා. මං දැන් දවස ගානේ කුලී වැඩට යනවා. දවසට රුපියල් දාහක් උපයනවා. දැන් අපේ ගෙදරත් ප්‍රශ්න නැහැ.

තිලකරත්න එසේ පවසන විට දිගින් දිගට ම බීමට ඇබ්බැහි වී සිටි ටී.ජී. සරත් යසපාල පවසන්නේ මෙවැන්නකි.

හරියට වතුර නැති නිසා යලමහ කන්න දෙකට ම අපි සු‍ළුවෙන් කුඹුරු කරනවා. ඊට අමතරව කුලී වැඩටත් යනවා. මම අවුරුදු විසිපහ වන විට හොඳට ම බීමට ඇබ්බැහි වුණා. ඒ දවස්වල මම දවසට රුපියල් සීයක විතර බොනවා. කුලී වැඩ කෙරුවම අතට ලැබෙන්නේ රුපියල් දෙසීයයි. මං ගෙදර එනකොට බිරිඳයි දරුවයි හුළු අතු පත්තු කරගෙන ඉන්නවා ගෙදරින්යන්න. ඒ මම ගෙදර ඇවිත් රණ්ඩු කරන නිසා. මම නිතර රණ්ඩු කරන නිසා ම‍ගේ බිරිඳ ග්‍රාම නිලධාරි මහත්තයට පැමිණිලි කරලා තිබුණා. ග්‍රාම නිලධාරි මහත්තයා මාව ගෙන්නලා අවවාද කරනවා. බැරිම තැන තමයි, එතුමා මාව පොලිසිය මඟින් උසාවි දැම්මේ. උසාවියේදි මට ඇඟ බඳින්න වුණා. කොහොම හරි ග්‍රාම නිලධාරි මහත්තයා අපට නිතර අවවාද කළා. මගෙන් ඉල්ලීමක් කළා. බීම නතර කරන්න කියලා. මං ඒ ඉල්ලීම ඉටුකෙරුවා.

දැන් අපේ පවුල සතුටින් ඉන්නවා. ග්‍රාම නිලධාරි මහත්තයා සමෘද්ධි ව්‍යාපාරය හරහා අඩු ආදායම් ලාභීන්ට ලබාදෙන කුකුල් පැටවුන් ටිකක් මටත් ලබා දුන්නා. මම දැන් එයිනුත් ආදායමක් ලබනවා.

එස්.ඩබ්ලිව්. පියසේන හතළිස් හැවිරිදිය. ඔහු ද කලකට පෙර හොර අරක්කු පෙරීමෙහි ලොල් වූ අයෙකි.

මම රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් උසාවියට ගෙවා තිබෙනවා. ඇත්තම කිව්වොත් පොලිසියෙන් බේරුණත් ග්‍රාම නිලධාරි මහත්තයාගෙන් ලේසියෙන් බේරෙන්න බැහැ. ඔහුගේ පෙලඹවීම නිසා තමයි මං ඒ නීති විරෝධී වැඩෙන් අත් මිදුණේ. දැන් මං දම්වැල් කියත මඟින් ගස් ඉරනවා. මට ඒ කියත ගන්න ණය මුදලක් බැංකුවකින් ලබා ගැනීමටත් ග්‍රාම නිලධාරි මහත්තයා උදව් කළා. මං හරි ආඩම්බරයෙන් කියන්නේ දැන් මට මගේ ම කියලා ත්‍රි‍රෝද රථයකුත් තිබෙනවා. මම කරපු වැඩේ කොච්චර වැරදිද කියලා මට දැන් තේරෙනවා. ඉස්සර ගමේ කාන්තාවන් මා දිහා බැලුවේ වෛරයෙන්. හේතුව තමයි බීමට ඇබ්බැහි වෙලා හිටපු හැම පිරිමියෙක් ම වගේ මගේ තිප්පොළේ නතර වෙලා හොඳටම බීලා ගෙදර යෑම.

පියසේනගේ ඒ කතාව සත්‍යයක් බව සනාථ කරන්නට ඉදිරිපත් වූයේ ටී.ජී. සෝමලතාය. ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි.

මගේ මනුස්සයා ඉස්සර කසිප්පු බීලා හවසට ගෙදර එන්නේ යක්ෂයෙක් වගේ. මමයි ඔහුයි නිතර අඩදබර ඇති කර ගත්තා. දරුවෝ බයෙන් ජීවත් වුණේ. ගෙදර කිසිම සතුටක් නැහැ. මම සැමියගේ කසිප්පු වෙළෙඳාමට සම්බන්ධ වුණේ ඔහුට තියෙන බය නිසා. පොලිසියෙන් ගමට පනිද්දි දවසක් මගෙ සැමියා පැනලා ගියා. අන්තිමට මාව පොලිසියට අල්ලගෙන ගියා. ඔහු ඉදිරිපත් වුණාට පස්සේ තමයි මාව ගෙදර එව්වේ. ග්‍රාම නිලධාරි මහත්තයා අපිට මඟ පෙන්නුවා. අපි අද පැණි හකුරු හදනවා. මගෙ සැමියා ගස් කපනවා. මගෙ දරුවෝ දැන් හොඳින් ඉගෙන ගන්නවා. මගේ එක දුවෙක් උසස් පෙළ විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබනවා. අපි සතුටෙන් ඉන්නවා. දැන් ගමේ හොර අරක්කු නිෂ්පාදනය කෙරෙන්නේ නැහැ.

සීලවතීගේ සැමියා ආරියදාස. ඔහු ද එදවස මතට ලොල් වූවෙකි. හිමිදිරියේ ම කසිප්පු තිප්පොළට යන ඔහු බීගෙන විත් නිවසෙහි බඩු මුට්ටු හට්ටි මුට්ටි පොළවේ ගසන්නේය. සමහර දවස්වලට ගෙදරට කන්න තියෙන හාල් ටික ගෙනිහිල්ලා ඔහු ඒ හිලව්වට බීලා එනවා. මීට අවුරුදු ගාණකට කලින් හිටපු ග්‍රාම නිලධාරියාව හමුවෙන්නත් යන්න ඕනෙ තිප්පොළට. ඔහුත් මතට ලොල් වෙච්ච කෙනෙක්. දැන් දෙයියනේ කියලා අපි සැනසිල්ලේ ඉන්නවා.

වෑතලාවේ ගැමි ගැහැනුන් දරුවන් මේ සැනසිල්ල‍ සෙවුවේ කාලයක් තිස්සේය. වසර ගණනක පුරුදු පුහුණුවෙන් පසු දැන් වෑතලාවට ඒ සැනසිල්ල ලැබී ඇත්තේය. දැන් ගමේ හොර අරක්කු තිප්පොළවල් නැත. එනිසා ගැමියන් බීම අත්හැර ඇත. එහෙත් ඉඳහිට නගරයට යන අයෙකු නගරයෙන් බී ගෙදර එන්නේය. එහෙත් තත්ත්වය ඉස්සර තරම් දරුණු නැත. ගමේ හොර අරක්කු පෙරීම නතර කිරීමටත්, බේබද්දන් නැති කිරීමටත් ඩී.බී. රත්නායක මහතා ගත් උත්සාහය අගය කළ යුතුය.

මං මේ පවුල්වල අයට ස්වයං රැකියා සඳහා අවස්ථාව ලබා දුන්නා. ගෙදරින් ගෙදරට ගිහිල්ලා ඔවුන්ට නිතර දෙවේලේ අවවාද කළා. මීමැසි පාලනය, පැණි හකුරු නිෂ්පාදනය, ඇඳුම් මැසීම ආදිය පිළිබඳව ඔවුන්ට වෘත්තීය පුහුණුව ලබාදීමට කටයුතු කළා. ඒ වගේ ම මී මැසි පාලනය කරගෙන යාමට මීමැසි පෙට්ටි බෙදා දුන්න. අද වෙන‍කොට ගමේ අරක්කු තිප්පොළවල් නැහැ. මේ නිසා ගමේ පවුල්වල ප්‍රශ්න නැහැ. දැන් ඔවුන්ට කෘෂිකර්මය හැරුණු විට වෙනත් ස්වයං රැකියා අවස්ථා තිබෙනවා. රත්නායක මහතා පවසන්නේ සතුටිනි.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »