.ඇහැ ගැටෙන මානයේ - Aha gatena manaye"/> යාල මහ වන මැද පියස්සක් නැති රෝහලක් - ඇහැ ගැටෙන මානයේ - Aha gatena manaye

යාල මහ වන මැද පියස්සක් නැති රෝහලක්

2015-08-10 10:13:00       586
feature-top

පුංචි ඉස්පිරිතාලය කාර්ය බහුලය. පැමිණෙන රෝගීන්ට එකවර ප්‍රතිකාර කිරීමට තරම් ප්‍රමාණවත් ඉඩ පහසුවක් ඒ තාවකාලික ඉස්පිරිතාලයේ තිබුණේ නැත. තුරු හිස් වැලඳ ගනිමින් එහේ මෙහේ දුවන විසේකාර ලතා විශේෂවලින් ආවරණය වූ මේ රෝහල පිහිටුවා තිබුණේ ළිං තුන අසල තැනිතලා ඉඩකය. රෝහලේ වහලය ද වැල් දිවූ ගස්වලින් ආවරණය වී තිබිණි. හතර වටේ බිත්ති නැත. බිත්ති වෙනුවට ආවරණය වී ඇත්තේ තුරුගොමුවලිනි. රෝහල ඇතුළේම පුංචි හෝටලයක් ද තිබුණේය. එය ප්ලෙන්ටි හෝටලයකි. හෝටලයේත් රෝහලේත් කාර්ය මණ්ඩලය එකම පිරිසකි. සේවාව නොමිලේය. පාද යාත්‍රාවේ පැමිණි බැතිමතුන් දහස් ගණනක් සුවපත් කළ මේ පුංචි රෝහලට වන වදුලේ රෝහල යැයි අපි නම් තැබීමු.

කතරගම වන්දනා සමයේ පාද යාත්‍රාවේ යෙදෙන්නන්ට පිහිටවීමට මාසයක කාලයක් පුරා පැවැත්වෙන මේ වන වදුලේ රෝහල අරුමයකි. කුඩා වුවද අංග සම්පූර්ණය. යාල මහ වන මැද මෙවන් ස්වේච්ඡා ජංගම රෝහලක් ගැන සිතන්නටවත් බැරිය. ගිලන් ඇඳන්, සේලයින් ලබා දීමේ පහසුකම් මෙන් ම විදුලියෙන් ක්‍රියාත්මක වන නවීන උපකරණ රැසක් ද රෝහල සතුය. විදුලි උපකරණ ක්‍රියාත්මක වන්නේ සූර්ය කෝෂ ආධාරයෙනි. බැලු බැල්මට කුඩාවට පෙනුණ ද මේ රෝහල කුඩා පිරිසකගේ එකතුවෙන් සවිමත් වූ අංග සම්පූර්ණ රෝහලකි.

රෝහල තුළ ම වූ කුඩා මුළුතැන්ගෙයහි නිතර පැහෙන විශාල වතුර කල්දේරමකි. ළිං තුනට පැමිණෙන සෑම බැතිමතකුටම ඉඟුරු මෙන් ම එනසාල් ද යෙදු ඉමිහිරි උණුසුම් තේ කෝප්පයක් ලබා දෙන්නේ ඒ මුළුතැන්ගේ පිරිස විසිනි. රෝහලේත්, ප්ලෙන්ටි හෝටලයේත් සමස්ත කාර්ය මණ්ඩලය හය දෙනෙකි. ප්‍රධානියා වෛද්‍ය ලතාහරන්ය. හේ රජයේ වෛද්‍යවරයෙකි. ලතාහරන්ට මෙම අදහස ඉදිරිපත් කළේ පානම සුගත් ය. ඒ පසුගිය වසරේය. අදහස හොඳ වුවද ගැටලු රැසකි. ළිංතුන පිහිටියේ යාල වනයේ හරි මැදට වන්නටය. එක්කෝ කුමන හරහා කුඹුක්කන් ඔය තරණය කොට එතැනට පැමිණිය යුතුය. නැතහොත් කටගමුව පිවිසුමෙන් මැණික් ගඟ තරණය කොට පැමිණිය යුතුය. කෙසේ හෝ අවසානයේ සද්චේතනාව ජයගත්තේය. මේ ජංගම රෝහල ඇරැඹුණේ පසුගිය වසරේ පාද යාත්‍රාවට සමගාමීවය.

ලතාහරන් සහ සුගත් තමාට හැකි පමණින් සබඳතා මත මිතුරන් රැස් කළෝය. උත්සාහය සාර්ථක වූයේ එසේ දුෂ්කර අත්දැකීම් සමුදායකට පසුවය. ඒ අතීතය අප හා මෙසේ වචන කළේය.

කිහිප වතාවක්ම පාද යාත්‍රාවට සම්බන්ධ වෙන්න ලැබුණා. මේ ගමනේදී හමුවුණු හොඳ මිත්‍රයෙක් තමයි සුගත්. එයා පදිංචි වෙලා ඉන්නෙ පානම. මේ ගමනෙ දුෂ්කර බව, විඩාබර බව දැනෙන්නෙ ගමන ගිය කෙනෙකුට පමණයි. මේ බැතිමතුන්ට හදිසි ප්‍රතිකාර කරගන්න තැනක් තියෙන්න ඕනැ කියල අපි දවසක් තීරණය කළා. අපේ බලාපොරොත්තුව කොච්චර සාර්ථක වේවිද කියල එදා අපි කල්පනා කළා. බාධක ගොඩයි. බෙහෙත් සොයා ගැනීම, ඒවා ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම සහ වෛද්‍යවරුන්ගේ කාර්යබහුල බව මේ හැම දේම අපි හිතුවා.

මේ වැඩේ කොහොමහරි කරමු කියල අන්තිමට තීරණය කළා. ගිය අවුරුද්දේ අපේ මිත්‍රයො ටික එකතු වෙලා වැඩේ පටන්ගත්තා. නොහිතුව විදියට ප්‍රතිචාර ලැබුණා. ඇතැම් වෛද්‍යවරු දවස් ගානක් නිවාඩු දාගෙන වෙහෙස නොතකා වැඩේට ආවා. හැතැප්ම ගානක් එන මේ නඩවල වැඩිපුරම ඉන්නෙ වයසක උදවිය. ඒ අයට දවස් ගානක් පයින් ආවම ලෙඩ රෝග ඇති වෙනවා. සමහරු පැරසිටමෝල් පෙත්තක්වත් නැතුව තමයි එන්නෙ. කැලේදි මොන අමාරුව ආවත් මේ ගමන නවත්තන්න බැහැ. දෙපැත්තෙන් කොහේට හරි යන්න හැතැප්ම විස්සකට වඩා පයින්ම යන්න වෙනවා. ඒ හින්ද අපි ගමනේ හරි මැද වෛද්‍ය මධ්‍යස්ථානය ආරම්භ කරන්න හිතුවා.

ගිය අවුරුද්දෙ තුන්දාහකට විතර අපි ප්‍රතිකාර කළා. ඇතැම් බැතිමතුන්ගෙ ලෙඩ රෝග ගැන තිබෙන දැනුම අල්පයි. අපි ඒ අයට කරුණාවෙන් ළෙන්ගතුව ප්‍රතිකාර කළා.

ඔහු වනයේදී තමා ලද අත්දැකීමක් අපට මෙසේ විස්තර කළේය.

ගිය අවුරුද්දෙ එක දවසක පිරිසක් කලබලයෙන් මෙතනට ආවා. බලද්දි නඩේ කෙනෙකුට දරුණු හෘදයාබාධයක්. අපි ඉතාමත් ඉක්මනින් රෝගියාව පරීක්ෂාවට ලක්කළා. එන්න එන්නම රෝගී තත්ත්වය උත්සන්න වෙමිනුයි තිබුණෙ. අපි ඉක්මන් ප්‍රතිකාර ලබා දෙමින් ඔහු වාහනයක රෝහල වෙත ගෙන ගියා. දෙවියන්ගේ පිහිටෙන් රෝගියා ජීවත් කරවන්නට අපේ කණ්ඩායමට හැකි වුණා. සුවපත් වූ ඔහු අනේක වාරයක් අපිට පින් දුන්නා. ඒ වගේ ජීවිත ගොඩක් බේරගන්න අපිට හැකි වුණා. ඒ තමයි අපි ලබපු ජයග්‍රහණ.

මේ වැඩේට ගොඩක් පිරිසක් අපිත් එක්ක එකතු වුණා. මේ ඉන්නෙ මහාචාර්ය ගුණවර්ධන. එතුමාත් මේ පාර අපිත් එක්ක එකතු වුණා. වෛද්‍ය ලතාහරන්, ගුණවර්ධන මහතා මට හඳුන්වා දුන්නේ රෝගියකු පරීක්ෂා කරන අතරතුරය. මහාචාර්යවරයා ද වන වැදී රෝගීන් පරීක්ෂාවේ යෙදෙමින් සිටියේය. රෝගියාට තදින්ම ක්ෂය රෝගය වැලඳී ඇත. එය නොදත් ඔහු හතිලමින් රෝගී අසුනේය. රෝගියාත් වෛද්‍යවරයාත් අතර අදහස් හුවමාරුවට භාෂා පරිවර්තක කාර්යය ඉටු කරන්නේ ද ලතාහරන් ය.

වෛද්‍යවරු විදියට අපිට සමාජයේ ලොකු වගකීමක් පැවරෙනවා. මේ වගේ ස්වේච්ඡා වෛද්‍ය කඳවුරුවලින් බැතිමතුන්ට ලොකු සේවාවක් වෙනවා. ඇතැම් අය තමන්ට තිබෙන රෝගී තත්ත්වය දන්නෙ නැහැ. නිදන්ගත රෝග තිබෙන බොහොම පිරිසක් මේ දින කිහිපයේදී අපට හමුවුණා. ඔවුන්ට කළ හැකි උපරිම ප්‍රතිකාර කරල ගමනින් පසුව ළඟම ඇති රෝහලට යෑමට උපදෙස් දුන්නා.

මේ කාර්ය බොහොම දුෂ්කර එකක්. අපේ මිත්‍ර වෛද්‍යවරු බොහෝ දෙනෙක් විවිධ පළාත්වලින් මේ කටයුත්තට එකතු වුණා. ගමනාගමනය දුෂ්කරයි. පහසුකම් ඇත්තෙම නැහැ. ඒ නිසා තමයි මේ කටයුත්තෙ අගය තවත් වැඩි වෙන්නෙ. මේ උපකරණ ක්‍රියාත්මක වෙන්න විදුලිය අවශ්‍යයි. අපි ඒකට සූර්ය කෝෂ භාවිත කළා. ඒ වගේම අපේ වාහන පණ ගන්වල ඒවයේ බැටරිවලින් තමයි උපකරණවලට අවශ්‍ය විදුලිය ලබාගත්තෙ. හදිසි ප්‍රතිකාර සඳහා අවශ්‍ය සියලුම උපකරණ අපි භාවිත කළා. ඒ නිසා බැතිමත් පිරිස ප්‍රතිකාර ලබල සුව වෙලා යන දිහා අපි බලන් ඉන්නෙ හරිම සන්තෝසෙන්. ගුණවර්ධන මහතා පවසන්නේ හැඟුම්බරවය.

ඊළඟට අපි ගොඩ වූයේ වන වදුලේ රෝහලේ මුළුතැන් ගෙයටය. ලතා වදුලේ රූස්ස ගහ පාමුල ගල් තුනේ ළිපෙහි පැහෙන වතුර කල්දේරම කිසිම මොහොතක හිස් වන්නේ නැත. ළිං තුනට පැමිණෙන දහස් ගණන් බැතිමතුන් රිසි සේ තම පවස නිවා ගනු පිණිස තේ කෝප්පයක් බොන්නට ද පැමිණෙන්නේ පුංචි ඉස්පිරිතාලයටමය. මුළුතැන්ගේ බාරකරුවා රෝහණය. රෝහණ ද මේ නඩයේ ස්වේච්ඡා සේවකයකු වූයේ අහම්බෙනි.

පහුගිය අවුරුද්දෙ මටත් පාද යාත්‍රාවට ආවා. ළිං තුන ළඟදි මේ දොස්තර හිතවතුන් මට හමුවුණා. ඔවුන් කරන දුෂ්කර, කාර්යබහුල, භාරදූර වගකීම මං දැක්කා. එදා හිතාගත්ත ලබන අවුරුද්දෙ මමත් ඔවුන් එක්ක එකතු වෙනව කියල. මේ අවුරුද්දෙ පිරිසක් එක්ක එකතු වුණේ එහෙමයි. මේක ලොකු සත්්කාර්යයක්. බෙහෙත් ටික දෙනව වගේම උණුසුම් තේ කෝප්පයක් බැතිමතෙකුට දෙනව කියන්නෙ ලොකු පිනක්. මෙතනට එනකොට පිරිස එන්නෙ හොඳටම හෙම්බත් වෙලා. හැමෝම ආව ගමන් තේ කෝප්පයක් බොන්න ළිපක් අවුළනවා. ඒ වෙලාවට තේ එකක් දුන්නම ඔවුන්ට දැනෙන සතුට මුහුණෙන් කියවන්න පුළුවන්. අපි දිවා රෑ මෙතනින් ඕනැතරම් තේ ලබා දෙනවා.

රෝහණට මෙන්ම මේ කටයුත්තට දායක වූ පානම සුගත්ට ද, සංජයට ද, නවලෝක රෝහලේ සේවයේ නියුතු විනෝද් කරුණාතිලකට ද ඇත්තේ පුදුමාකාර සතුටකි. ඒ සතුටෙන් උද්යෝගය බොහෝ දෙනකුට ජීවය ලබා දී තිබේ. මෙවැනි ස්වෙච්ඡා කණ්ඩායම් පිළිබඳ අපට ඇත්තේ ද සතුටකි. මේ සටහන ලියා තබනුයේ ද ඔවුන්ට ගෞරවයක් ලෙස මෙන්ම තවත් අයකුට ආදර්ශයක් ලෙසිනි.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »