.ඇහැ ගැටෙන මානයේ - Aha gatena manaye"/> බිහාරයේ හිඟන්නන්ගේ බැංකුව - ඇහැ ගැටෙන මානයේ - Aha gatena manaye

බිහාරයේ හිඟන්නන්ගේ බැංකුව

2015-08-04 10:41:00       586
feature-top

බිහාර් ජනපදයේ පිහිටි බුද්ධගයාවේ මංගල ගෞරු ආරාමය හිඟන්නන්ගේ වාස භූමියක් ලෙස සැලකේ. එම ආරාමයට වන්දනාවේ පැමිණෙන දහස් ගණන් බැතිමතුන්ගෙන් ලැබෙන ආධාර උපකාරවලින් මේ හිඟන්නෝ දිවි රැක ගනිති.

හතළිස් වැනි වියේ පසුවන රාජ් කුමාර් මාන්ජි මෙම ස්ථානයේ වෙසෙන හිඟන්නෙකි. ඔහු සහ ඔහුගේ බිරිය ජීවත් වූයේ මෙම ස්ථානයට පැමිණෙන අයගෙන් ලැබෙන ආහාර හා මුදල් ආධාරයෙනි. දිනක් ඔහුගේ පවුලට අතිවිශාල කරදරයකට මුහුණ පෑමට සිදුවිය. ඒ ඉවීමට ගොස් ඔහුගේ බිරිය සහ ඔහුගේ නැගණිය ගින්නෙන් පිලිස්සී අසාධ්‍යව රෝහල් ගතවීමය. ඒ අවස්ථාවේ ඔහුට දැඩි මුදල් අසීරුතාවක් ඇතිවිය.

එවැනි කරදරයකදී ඔහුට අවශ්‍ය වූ මුදල් ණයක් ලෙස ඔහුට ලැබුණේ හිඟන්නන් 40 ක් එකතු වී පවත්වාගෙන ගිය ස්වයං ආධාර කණ්ඩායමෙනි. එම සංවිධානය මංග්ලා බැංකුව ලෙස හඳුන්වනු ලැබුවේ මංගල ගෞරි ආරාමය අසල පවත්වාගෙන යෑම හේතුවෙනි. මේ බැංකුවේ කළමනාකාරවරයෙක්, ලේකම්වරයෙක් හා සහායක දෙදෙනෙක් සේවයේ යෙදී සිටිති. ඔවුහු ද හිඟන්නෝය.

අපහසුතාවට මුහුණ දුන් අවස්ථාවකදී අවශ්‍ය මුදල් ලබා ගැනීම සඳහා යම්කිසි මුදලක් ඉතිරි කිරීමේ අදහස ඔවුන් වෙත හඳුන්වා දුන්නේ දුප්පතුන්ගේ සුබසාධනය වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය සංගමයේ නිලධාරීන් විසිනි. ඉහත කී අන්දමට ස්වයං ආධාර ආයතනයක් පවත්වාගෙන යන ලෙස ඔවුනට උපදෙස් ලැබිණ.

මේ අනුව ඔවුන් 40 දෙනා එකතු වී බැංකුවක් ඇරැඹූ අතර සෑම අඟහරුවාදා දිනකම රුපියල් 20 ක් එම බැංකුවේ තැන්පත් කිරීමට එකඟත්වය ඇති කරගන්නා ලදී. ඒ අනුව සතියකට ඔවුන්ගෙන් රුපියල් 800 ක මුදලක් බැංකුවේ තැන්පත් වීම නිසා අවශ්‍ය කෙනෙකුට ණයක් ලබා ගැනීමට ද හැකි වී ඇත.

මෙම බැංකුවේ ආරම්භක සාමාජිකයකු වන මාන්ජිට ඉහත දැක්වූ අවස්ථාවේදී රුපියල් 8000 ක ණයක් ලබාගත හැකි වූ අතර ඔහුට එම මුදල දෙවියන් දුන් දෙයක් ලෙස පිහිට විය. මාන්ජිට මාස්පතා මෙම ණය මුදල ගෙවීමට සිදුවන අතර මුල් මාසය සඳහා ගෙවනු ලබන මුදලට පොලියක් එකතු නොවනු ඇත. දෙවැනි මාසයේ සිට ගෙවන මුදලට පොලිය ද එකතු වනු ඇත. ඒ සඳහා අය කරනු ලබන්නේ සියයට 2 ක් වැනි අඩු පොලියකි.

මාන්ජි මෙම බැංකුවේ කළමනාකරු ලෙස කටයුතු කරන අතර ඔහුගේ සොහොයුරිය මල්කි දේවි එහි ලේකම් ලෙස ක්‍රියා කරයි. අපි සමාජයේ වෙසෙන දුප්පත්ම ගණයට වැටෙන නිසා සමාජයෙන් අපට සැලකිල්ලක් ලැබෙන්නේ නෑ. ඒ නිසා මෙම බැංකුවෙන් හිඟන්නන් වන අපට ලැබෙන සහනය මෙතෙකැයි කියා කිව නොහැකි බව මල්කි දේවි පැවසුවාය.

මාන්ජිගේ ගේ බිරිය නගීනා දේවි මෙම හිඟන්නන්ගේ බැංකුවේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන අතර මගේ කාර්යභාරය වන්නේ මෙම බැංකුවට එකතු වන මුදල් කළමනාකරණය කිරීම යි යනුවෙන් ඇය පැවසුවාය. මේ අතර තවත් හිඟන සාමාජිකයකු වන වන්රික් පස්වාන් සතියකට වරක් සාමාජිකයන්ගෙන් මුදල් එකතු කරයි. ඉන්දියාව පුරා සිටින බොහෝ හිඟන්නෝ පතාලේ ලොක්කන් හා ව්‍යාපාරිකයන් විසින් පාලනය කරනු ලබති. එසේම හිඟන්නන්ට ඔවුන්ට බොහෝ විට ලැබෙනුයේ ආහාර හා රැක බලා ගැනීම පමණයි. එහෙත් නතුන් බ්‍රඩා, බසන්ති මාන්ජි, රිටා මසෝමැට්, දවුලා දේවි වැනි හිඟන්නන් තමන්ටම කියා බැංකුවක් පැවතීම ගැන මහත් සේ සතුටට පත්වන අතර තමන්ගේ ඉදිරි අනාගතයට අවශ්‍ය මුදල් මෙසේ ඉතිරි කර ගැනීමට ලැබීම මහත් වාසනාවක් ලෙස සලකනු ලබයි.

මේ අතර අස්කායිභාත්, විෂ්නුපාද් හා නගරයේ පවතින අනෙකුත් ආගමික ස්ථානවල සිටින හිඟන්නන් ද මෙම සංවිධානයට ළඟදීම බඳවා ගැනීමට ඔවුන් සූදානම් වී සිටින අතර හිඟා කෑමේ යෙදී සිටින දරුවන් කිසිසේත් මෙම බැංකුවට බඳවා නොගැනීමට තීරණය කර ඇත. මෙම බැංකුව පැය විසි හතරම විවෘතව තිබීම ද ඔවුන්ට මහත් පහසුවක් වන බව ද පැවැසේ.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »