දේවාල බිමේ තැනින් තැන ඈඳිගත් වන්දනා නඩ තම තමන්ගේ වැඩවලය. දේවාල බිමේ නොනිමී දැල්වෙන කපුරු පහනේ සුවඳ සුළං හා මුසුව මුළු බිමම සුවඳවත් කරවයි. මේ බිමෙහි අප ආගන්තුක හැඟීමක් එක්වරම හිතට නැ‍ඟෙයි..ඇහැ ගැටෙන මානයේ - Aha gatena manaye"/> ගම්මාන 200 ක් පසුකර කෝවිල් 100 ක් වැඳගෙන පාද යාත්‍රාවේ ආ එකම සිංහලයා - ඇහැ ගැටෙන මානයේ - Aha gatena manaye

ගම්මාන 200 ක් පසුකර කෝවිල් 100 ක් වැඳගෙන පාද යාත්‍රාවේ ආ එකම සිංහලයා

2015-07-27 09:44:00       659
feature-top

දේවාල බිමේ තැනින් තැන ඈඳිගත් වන්දනා නඩ තම තමන්ගේ වැඩවලය. දේවාල බිමේ නොනිමී දැල්වෙන කපුරු පහනේ සුවඳ සුළං හා මුසුව මුළු බිමම සුවඳවත් කරවයි. මේ බිමෙහි අප ආගන්තුක හැඟීමක් එක්වරම හිතට නැ‍ඟෙයි.

කොහේ ඉඳන්ද ආවෙ මාමෙ?

අපි වන්දනා නඩයක් අසල නතර වුවද අව්‍යාජ නිරහංකාර අවිහිංසක හිනාව හැර වෙනත් ප්‍රතිඋත්තරයක් නැත. අපේ අදහස් හුවමාරුවට කෙටි පවුරක් බැඳ ඇති සැටියකි. සිනහවෙන් දෙන පිළිතුරෙන් පමණක් සෑහීමකට පත්වීමට අපට නොහැකිය.

ගම කොහෙද? මම නැවතත් අසමි.

කාර්තිව් කෙටි පිළිතුර අපට ගෙන ආවේ අස්වැසිල්ලකි.

ශිංහල තෙරිය

නැවත ලැබෙන්නේ කෙටි පිළිතුරකි.

කොළඹින් අරුගම්බේටත්, අරුගම්බෙහි දින දෙකක් ගෙවා පානමටත් එතැනින් ඔකඳටත් පැමිණි ගමන දුෂ්කර වුවත් සුන්දරය. අද දිනයේ ඔකඳ දෙවොල් බිමෙහි රාත්‍රිය ගෙවා දැමීමට අප තීරණය කළේ පාද යාත්‍රාවේ පැමිණෙන බැතිමතුන් හා කෙටි පිළිසඳරක යෙදීමේ අදහසිනි.

ගෙවල් කොහෙද?

පැය කිහිපයකට පසුව අප ඇමතූ තරුණයා දෙස මා බැලුවේ ස්තූතිපූර්වක සිනහවකිනි.

අපි කොළඹ ඉඳන් ආවේ පත්තරේ...

මම කඩිනමින් පිළිතුර දුන්නෙමි. ඉන් අනතුරුව කැඩුණු සිංහල බසින් තරුණයා බොහෝ දේ කතාබහ කළේ මේ බැතිබර ගමන ගැන අපට පහදමිනි. ඔහුගේ කතාබහ අතරතුර ලැබුණු කදිම ඉඟිය අපට ගෙන ආවේ පුවත්පත් විශේෂාංගයකට කදිම තොරතුරකි.

පාද යාත්‍රාවට යාපනේ ඉඳන් එන එකම සිංහල කෙනා ඉන්නෙ අන්න අර මඩමේ

ඔහු අත දිගු කොට අපට පෙන්වූයේ සාකච්ඡාව වෙනතකට යොමු කරමිනි. තරුණ සෙල්වාගෙන් සමුගත් අපි දේවාල බිමෙහි කෙළවරෙහි ඉදිකළ විශ්‍රාම නිවහනට ගොඩවැදුණේ ඒ සුවිශේෂී පුද්ගලයා මුණ ගැසීමටය.

යාපනේ ඉඳන් පාද යාත්‍රාවට ආපු සිංහල කෙනා ඉන්නව ද?

මා ඇසුවේ දිගු ශාලාවේ කෙළවර කෙටි සිමෙන්ති පඩියේ ඈඳිගත් තලතුනා පුද්ගලයකුගෙනි. ඔහු තමා කියවමින් උන් දෙමළ භජන් පොත හකුළා සිනාසෙමින් මදෙස බැලුවේය.

මාත්තියා නාන්න ගියා

ඔහු පොත වසා ඔලොගුවේ ලා ගනිමින් කැලෑ තුට්ටිය දෙස බලමින් පැවැසීය.

මාත්තියා යාපනේට ආවෙත් පයින්

විනාඩි පහළොවක් පමණ ගතවන්නට ඇත. කුඩා බාල්දියක් ද අතින් ගත් මහත්තයා ශාන්ත ගමනෙන් මඩමට ගොඩ වූයේය. නවගුණ වැලකින් ගෙල සරසාගත් හෙතෙම තද තැඹිලි පැහැ වේට්ටියකින් සැරසී සිටි අතර ඔහුගේ උඩුකය නිරුවත්ය.

මාත්තියා...

කන්දයියාගේ උස් හඬින් ගමන නැවැත්වූ මහත්තයා නැවතත් ශාන්ත ගමනෙන්ම අප අසලට පැමිණියේය.

මේ කට්ටිය මාත්තිය හෙව්වා

කන්දයියාගේ දෙබස නිමා වීමට පෙර එම මහත්තයා සමඟ කතාවට වැටුණේ පළමුව අප හඳුන්වා දෙමිනි.

ඉඳගන්න... ඉතිං...

මහත්තයා ඇසෙන නෑසෙන හඬින් අප ඇමතුවේ තැන්පත්ව බිම ඈඳි ගනිමිනි. කාලාන්තරයක් තිස්සේ වාර්ෂිකව යාපනයේ පේදුරුතුඩුව ආසන්නයේ තොන්ඩමනාරු ගම්මානයේ පිහිටුවා ඇති සෙල්වසන්නදි කෝවිල අසලින් ගමන අරඹන පාද යාත්‍රාවට මෑත ඉතිහාසයේ එක්වූ එකම සිංහල ජාතිකයා මහත්තයා බව පැරැන්නන්ගේ කතාවලින් අපි තහවුරු කොටගෙන සිටියෙමු. ඒ අනුව මා ඉදිරියේ මේ අසුන්ගෙන සිටින්නේ මෑත ඉතිහාසයේ යාපනයෙන් ගමන් අරඹන පාද යාත්‍රාවට එක්වූ එකම සිංහලයාය.

ඉතිං කොහොම ද?

හොඳයි...

හැමෝම කියන්නෙ මහත්තය කියලනේ

මම තතු දැනගනු රිසින් නැවත ප්‍රශ්න කරමි.

ඔව්... මං ඒකට කැමතිම නැහැ. ඒත් ඉතිං මේ හැමෝම එදා ඉඳන් මට කියන්නෙ මහත්තය කියල.

එදා ඉඳන් කිව්වෙ

මම ඔහුව ඉතිහාසයට ගෙන යමි.

මැයි 19 වෙනිදා තමයි තොන්ඩමනාරු ගමෙන් ගමන පටන්ගත්තෙ.

හෙතෙම උපැස් යුවළ පසෙකලා නළලත රැලි ගන්වා කතාන්දරය අරඹයි.

ගිය අවුරුද්දෙ තමයි මුලින්ම මම යාපනේ ඉඳන් පාද යාත්‍රාවට එකතු වුණේ. ඊට එපිට අවුරුද්දෙ ඔකඳ ඉදන් ගියේ. මේ අවුරුද්දේ කොළඹ ඉඳන්ම ගමන පටන්ගන්න මට හිතුණා.

කොළඹ ඉඳන්ම පයින් ද ආවෙ...

කතාව මුල සිටම අරඹන්නට මට සිතිණි.

ඔහුගේ නම නන්දසිරි ප්‍රනාන්දුය. හෙතෙම ඉදිකිරිම් ක්ෂේත්‍රයේ නමගිය ව්‍යාපාරිකයකුව සිටියේය. කාලයාගේ ඇවෑමෙන් ව්‍යාපාරවලින් සමුගත් හෙතෙම විශ්‍රාම දිවිය ගතකරන්නට සැලසුම් කළේ මීට වසර කිහිපයකට පෙරය. එතැන් සිට ලංකාව පුරා සංචාරය කිරීමට ඔහු කාලය වෙන් කළේය. ඒ අනුව පාද යාත්‍රාව පිළිබඳව ඔහු දැනගත්තේ 2013 වසරේ අන්තර්ජාල පුවතකිනි.

2013 ද ඔකඳට පැමිණ පාද යාත්‍රාවට එක්වූ ප්‍රනාන්දු මහතා 2014 දී යාපනයෙන් පාද යාත්‍රාවට එක්වූයේ වේල් ස්වාමිගේ මඟ පෙන්වීමෙන්ය. තොන්ඩමනාරු සිට කතරගමට යන පාද යාත්‍රාවේ මූලිකයා වේල් ස්වාමි නොහොත් මහේෂ්වරන් ස්වාමි තුමා ය. යාපනයෙන් ගමන් අරඹා ඔකඳට පැමිණෙන පාද යාත්‍රාව ඔකඳින් ඇරැඹීමට මූලිකයා වන්නේ ද වේල් ස්වාමි ය. කුමන වන උයනේ පිවිසුම් දොරටුවෙන් මුලින්ම පාද යාත්‍රාව අරඹන්නේ වේල් ස්වාමි ඇතුළු තොන්ඩමනාරු ගමෙන් ගමන අරඹන නඩයය. ඒ නඩයේ මහත්තයා ප්‍රධාන චරිතයකි.

මේ පාර කොළඹින්ම පාද යාත්‍රාව පටන් ගන්න මට හිතුණා. මාස කිහිපයකට ඉස්සර වෙලා මං දෙහිවලින් යාපනේට යන්න පටන්ගත්තා. යාපනේට යන්න දවස් හැටක් විතර ගියා. තනියම පාගමනින් යද්දි මට බොහොම පිරිස් හමු වුණා. හිමින් හිමින් අනුරාධපුරේට ළංවුණා. අනුරාධපුරේදී මට තවත් ගමන් සගයෙක් මුණගැහුණා. එයා ගියපාර මාත් එක්ක පාද යාත්‍රාවට එකතු වුණු මිත්‍රයෙක්. අනුරාධපුරේ ඉඳල හමුවන බහුතර දමිළ ජනයා ගැවසෙන ගම්මානවලින් යද්දි මගේ දෙමළ මිත්‍රයාගෙ භාෂා දැනුම මට ගොඩක් උදව් වුණා.

කොහොමහරි හිමින් හිමින් අපි දෙන්නා කරදරයක් නැතිව අලිමංකඩට ළංවුණා. අපි පයින් එන වග වේල් ස්වාමිට දැනුම් දුන්නා. වේල් ස්වාමි ඇතුළු පිරිස අලිමංකඩදී අප ඉතා ඉහළින් පිළිගත්තා. සිංහල කෙනෙකුට ලැබුණු ඒ ඉහළ පිළිගැනීම ගැන මට දැනුණෙ ලොකු සතුටක්. මාව නඩයට එකතු කරගෙන ආයෙමත් සෙල්වසන්නදි කෝවිලට ගියා. එතන දින කිහිපයක් ගතකරල මැයි මාසේ දහනව වැනිදා අපේ නඩය ගමන පටන්ගත්තා.

දවස් පනස්හතරකින් කතරගමට යන්න තමයි අපේ සැලසුම. ගම්මාන දෙසීයක් විතර පහුකරල තමයි මේ ගමන යන්නෙ. කෝවිල් සීයක් විතර මේ ගමනේදි අපි වන්දනාමාන කරනවා. ඇත්තටම හරිම භක්තිමත් ගමනක්. ඒ වගේම මේ මිනිස්සුන්ගෙ තියෙන්නෙ පුදුමාකාර ළෙන්ගතුකමක්. මට දෙමළ භාෂාව තේරෙන්නෙ නෑ. නමුත් ඔවුන් මට පවසන දේවල් වටහගන්න පුළුවන්. මට හැම පහසුකමක්ම මේ පිරිස සපයල දෙනවා. හරිම සැහැල්ලුවෙන් තමයි මේ ගමන යන්නෙ. ඔහු පවසන්නේ වේල් ස්වාමි ඇතුළු පිරිස වටකොටගෙනය.

මාත්තියා හරිම හොඳයි. අපේ ගමේ කෙනෙක් වගේ. අපට යන හැමදේම ගැන හොයල බලනවා. අපට කෑම නිදාගන්න මෙට්ට ගොඩක් දේවල් අරන් දුන්නෙ මහත්තියා. අපට සිංහලත් කියල දෙනවා යනුවෙන් තිරිචෙල්වම් පවසන්නේ අපේ කතාව අතරතුරය.

මහත්තය බල්ලගෙ කතාව ඇය ප්‍රනාන්දු මහතාට මතක් කරන්නේ ගමනේ රසමුසු තැනකි.

අපි දවස් ගාණක් එක දිගට ගමන ආවා. ගමනෙදි ඇතැම් වේලාවට කණ්ඩායම කැඩුණා. මන්නං කියන ගමේදී අපේ අතේ මුදලුත් නැතිවුණා. බැංකුවකුත් නෑ. අතේ තිබුණු සල්ලි ඔක්කොම වියදම් වෙලා කෑමත් නැතිවුණා. අපි කණ්ඩායම පිටිපස්සෙන් බල්ලෙක් ආවා. දවස් ගාණක් ආව බල්ලට අපි කන්න බොන්න දීල සැලකුවා. මංනං ගමේදී අපි කඩේකට ගොඩ වුණා. මුදලාලි කෑම වතුර නෑ කියල අපිට මොනවවත් දුන්නෙ නෑ. අපි කඩෙන් එළියට ඇවිත් ආයෙ ගමන පටන්ගත්තා. එකපාරටම මුදලාලි අපිට කතාකළා මේ බල්ලා මට දෙනවද මුදලාලි දෙමළෙන් ඇහුවා. ඒ වෙලාවෙම මුදලාලි බල්ලව චේන් එකකින් ගැට ගැහුවා. ඊට පස්සෙ අපිට හොඳට කන්න බොන්න දුන්නා. එදා කෑවෙ බල්ලව මුදලාලිට දීල. ඊට පස්සෙ අපේ නඩය හම්බ වුණා. මේ වගේ රසවත් දේවල් මේ ගමනේදි වුණා.

මහත්තයා පවසන්නේ සංවර සිනහවකින් මුව සරසා ගනිමිනි.

මේ ගමනේදී මට මහන්සියත් දැනුණෙම නෑ. හරිම සහයෝගයෙන් තමයි හැමදේම වෙන්නෙ. කිසිම කෙනෙකුගෙ පංගුපේරුවක් නෑ. මාස ගාණක් එකට ඉඳල අපි එකම පවුලක් බවට පත්වෙලයි තියෙන්නෙ. ගමන නිමාවෙලා වෙන්වීමක් ගැන හැමෝටම හිතාගන්නත් අමාරුයි.

ප්‍රනාන්දු පවසන්නේ සංවේදී ස්වරයෙනි. සැබෑවටම මාස ගණනක් ඔවුන් ගතකරන මේ සංචාරක ජීවිතය අපට ගෙනෙන හැඟීම අරුම පුදුමය. ප්‍රනාන්දු මහතාට මේ ගමන ජීවිතයට එක්කොට ඇත්තේ අත්දැකීම් සමුදායකි. කලක් ව්‍යාපාරවලට කාර්යබහුල වූ ප්‍රනාන්දු මහතා ඉන් මිදී ගත කරන්නේ අරුම පුදුම සැහැල්ලු දිවියකි. ඔහුගේ දරුවන් ජීවත්වන්නේ විදෙස් රටවලය. ප්‍රනාන්දු මහතා පිළිබඳ නිතර සොයා බලන දරුවන්ගෙන් ඔහුට ලැබෙන්නේ නොමඳ අනුග්‍රහයකි.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »